ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධානතම සැකකාරිය ලෙස නම් දරා සිටි, බොහෝ කාලයක් තිස්සේ නීතියෙන් සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි අවසානයේ නේපාලයේදී නීතියේ රැහැනට හසුවී තිබෙනවා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කර තිබෙනවා. ඇය සමග ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතම සගයෙකු ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට පත්වීම මේ සිද්ධියට තවත් බරක් එක් කරනවා. ඇයව හඳුන්වනු ලැබුවේ ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙසයි. විශේෂයෙන්ම, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ වෙඩිතැබීම් සිද්ධියේදී නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන වෙඩික්කරුට ගිනි අවිය ලබාදුන් කාන්තාව ලෙස ඇය සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුවී තිබුණා. පාතාල ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සක්‍රීයව සම්බන්ධ වී සිටින, මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි විසිහය හැවිරිදි ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති මේ කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන කර තිබුණා. රටින් පළාගොස් සිටි ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය ඇතිව කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ, දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ ගෙන් අනාවරණය වූ තොරතුරු මතයි. ඇයගේ පවුල් පසුබිම ද අපරාධවලින් පිරි එකක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇයගේ සැමියා පිස්තෝලයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අතර, සහෝදරයෙකු ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණා. 2024 ජනවාරි 24 වැනි දින විදේශගත වන බව පවසා නිවසින් පිටව ගොස් ඇත්තේ අනියම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයෙකු සමඟ බවත්, එතැන් සිට දෙදෙනාම නිවසට පැමිණ නැති බවත් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා. ඇය අතුරුදන්වීමෙන් පසු අත්අඩංගුවට ගත් ඇයගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී මියගොස් තිබීම මේ කතාවට තවත් ඛේදවාචකයක් එක් කරනවා. නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන සිටි ඉෂාරා අවසන් වරට ඇගේ මව දැක ඇත්තේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවලින් බවයි සඳහන් වන්නේ.