OpenAI සිය ChatGPT ඇතුළු අනෙකුත් නිෂ්පාදන භාවිත කරන යෞවනයන් සහ දරුවන් ආරක්ෂා කිරීම සඳහා නව දැඩි ක්‍රියාමාර්ග ගණනාවක් නිවේදනය කර තිබෙනවා. නමුත්, මෙහිදී අවුරුදු 18ට වැඩි පරිශීලකයින් සඳහා “වැඩිහිටියන්ට වැඩිහිටියන් ලෙස සලකන්න” (Treat our adult users like adults) යන ආන්දෝලනාත්මක ප්‍රවේශය අනුගමනය කරන බවත්, මෙයින් අදහස් වන්නේ AI චැට්බෝට් මගින් “අධ්‍යාපනික අරමුණු” සඳහා යැයි පවසමින් ස්වයං හානිකර තොරතුරු පවා සැපයිය හැකි බවයි. මෙය බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා. තවදුරටත්, වැඩිහිටි පරිශීලකයින් සඳහා විශේෂ වරප්‍රසාද පද්ධතියක් (privilege system) ද හඳුන්වා දෙන බවත්, එමගින් OpenAI සේවකයින්ට පවා පරිශීලක සංවාදවලට ප්‍රවේශ වීම වළක්වන බවත් සමාගම ඉඟි කර තිබෙනවා. වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා නම් දැඩි අධීක්ෂණයක් සහ සීමා කිරීම් අදාළ වන අතර, OpenAI විසින් පරිශීලකයාගේ වයස ස්වයංක්‍රීයව තක්සේරු කරන වයස් අනාවැකි පද්ධතියක් ගොඩනගනවා. වයස පිළිබඳ සැකයක් ඇති වුවහොත්, ආරක්ෂාව තහවුරු කිරීමට ‘බාලවයස්කරුවන් සඳහා වන අත්දැකීම’ වෙත යොමු කරන බවත්, අවශ්‍ය නම් හැඳුනුම්පත් ඉල්ලා සිටීමට පවා ඉඩ ඇති බවත් සඳහන්. මෙය වැඩිහිටියන්ගේ පෞද්ගලිකත්වයට බලපාන බවද ඔවුන් පිළිගෙන තිබෙනවා. විශේෂයෙන්ම, යෞවනයෙකු සියදිවි නසාගැනීම් පිළිබඳව චැට්බෝට් එකක් සමඟ සාකච්ඡා කරන්නේ නම්, සමාගමේ පද්ධතිය මුලින්ම පරිශීලකයාගේ දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන අතර, එය කළ නොහැකි නම් බලධාරීන් දැනුවත් කරනු ඇති. මීට පෙර ChatGPT ආධාරයෙන් යෞවනයෙකු සියදිවි නසාගත් සිද්ධියකින් පසුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක වන බවට සැක කෙරෙනවා. නමුත් වැඩිහිටියන් සඳහා, AI ආකෘති තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට වැඩි නිදහසක් ලැබෙනවා. මෙයින් අදහස් කරන්නේ “ප්‍රබන්ධ කතාවක් ලිවීමට” උදව් කිරීමට යැයි පවසමින්, චැට්බෝට් එකෙන් ආලවන්ත හැඟීම් පෑමට හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ උපදෙස් පවා ඉල්ලා සිටිය හැකි බවයි. කෙසේ වෙතත්, අන් අයට හානි කිරීමට හෝ ඔවුන්ගේ නිදහසට හානි කිරීමට උත්සාහ කරන විමසීම් සඳහා මෙම නිදහස අදාළ නොවන බවත්, ආරක්ෂක ක්‍රියාමාර්ග පුළුල් ලෙස දිගටම ක්‍රියාත්මක වන බවත් OpenAI අවධාරණය කරනවා. තවද, පරිශීලක සංවාදවලට නීතිඥයෙකු හෝ වෛද්‍යවරයෙකු සමඟ කතා කරන විට ලැබෙන වරප්‍රසාද පද්ධතියකට සමාන ආරක්ෂාවක් ලබා දීමටත් OpenAI කටයුතු කරනවා. නමුත්, යමෙකුගේ ජීවිතයට තර්ජනයක්, අන් අයට හානි කිරීමේ සැලසුම් හෝ සමාජීය මට්ටමේ හානියක් ඇතුළත් සංවාද මිනිස් සමාලෝචනය සඳහා යොමු කරන බවත් ඔවුන් පවසා තිබෙනවා.