කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රය මේ වන විට ලෝකය පුරාම දැවැන්ත ආයෝජන සහ වේගවත් වර්ධනයක් අත්විඳිමින් සිටිනවා. කෙසේ වෙතත්, Google හි මව් සමාගම වන Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචයි මහතා BBC වෙත කළ විශේෂ ප්‍රකාශයකින් මේ පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔහු පවසන්නේ, වත්මන් AI ක්ෂේත්‍රයේ විශාල ආයෝජන සහ වර්ධනය ‘අසාමාන්‍ය මොහොතක්’ වුවත්, එහි යම් ‘අතාර්කික බවක්’ පවතින බවයි. මෙම ‘AI බුබුල’ පුපුරා ගියහොත් Google ඇතුළු කිසිදු සමාගමකට එහි බලපෑමෙන් ගැලවිය නොහැකි බවත්, එය දැවැන්ත සමාජීය හා ආර්ථික බලපෑම් ඇති කළ හැකි බවත් පිචයි මහතා අවධාරණය කර තිබෙනවා. ඔහු 1996 වසරේ ‘ඩොට්කොම් බුබුල’ පුපුරා යාමට පෙර ඇලන් ග්‍රීන්ස්පෑන් විසින් කළ ‘අතාර්කික උද්යෝගය’ පිළිබඳ අනතුරු ඇඟවීම සිහිපත් කරමින් පවසා ඇත්තේ, මෙවැනි ආයෝජන චක්‍රවලදී කර්මාන්තය ‘අධික ලෙස ඉදිරියට යා හැකි’ බවයි. අන්තර්ජාලය වැනි දේවල් පවා ආරම්භයේදී අධික ආයෝජනවලට ලක්වූ නමුත්, එය ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වූවා සේම, AI සම්බන්ධයෙන්ද එවැනිම තත්වයක් අපේක්ෂා කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා. මේ අතර, JP Morgan බැංකුවේ ප්‍රධානියා වන ජේමි ඩයිමන් ද මීට පෙර පවසා ඇත්තේ AI ආයෝජනවලින් කොටසක් ‘නැතිවී යා හැකි’ බවයි. කෙසේ වෙතත්, Google සමාගම AI ක්ෂේත්‍රයේ දැවැන්ත ලෙස ආයෝජනය කරමින් සිටිනවා. ඔවුන් එක්සත් රාජධානියේ AI යටිතල පහසුකම් සහ පර්යේෂණ සඳහා පවුම් බිලියන 5ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර, DeepMind වැනි ඔවුන්ගේ ප්‍රධාන AI ඒකක හරහා පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි. නමුත් මේ දැවැන්ත AI ව්‍යාප්තියට විශාල බලශක්ති අවශ්‍යතාවයක් පවතින බවත්, එය ලෝකයේ විදුලි පරිභෝජනයෙන් 1.5%ක් පමණ වන බවත් පිචයි මහතා අනතුරු අඟවනවා. මේ හේතුවෙන් Google හි දේශගුණික ඉලක්කවලට යම් බලපෑමක් සිදුවිය හැකි බව ඔහු පිළිගෙන තිබෙනවා. AI තාක්ෂණය රැකියා වෙළඳපොළටද විශාල බලපෑමක් ඇති කරන බවත්, එය ඇතැම් රැකියා වෙනස් කර නව අවස්ථා උදාකරන බවත්, මෙම වෙනස්කම්වලට අනුවර්තනය වන පුද්ගලයන්ට වාසිදායක වනු ඇති බවත් ඔහු පවසනවා. Google සතුව චිප්ස්වල සිට YouTube දත්ත දක්වා වූ සමස්ත AI තාක්ෂණ පද්ධතියම තමන් සතු බැවින්, ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම වෙළඳපොළ කැලඹීමකට මුහුණ දීමට ඔවුන්ට හැකි බවද පිචයි මහතා අවසාන වශයෙන් පෙන්වා දෙනවා. (Source : BBC)






























