මාවනැල්ල, අලුත්නුවර මානික්කාව ප්‍රදේශයෙන් ඊයේ (29) දින වාර්තා වූ සිදුවීමක් මේ වන විට රටම කම්පා කරවමින් තිබෙනවා. දෛවයේ සරදමක් බඳු මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් තිදෙනෙකුට අකාලයේ දිවි අහිමි වූයේ, වතුර ටිකක් බීමට ගිය එක් මිතුරෙකුට පමණක් මරණයෙන් ගැලවීමට ඉඩ සලසමිනුයි. නිවසක පැති බැම්මක් ඉදිකිරීම සඳහා අඩි 14ක් පමණ ගැඹුරු අගලක් කපමින් සිටියදී, ඊයේ උදෑසන 9.00ට පමණ හදිසියේම පස් කන්දක් කඩා වැටී ඇත. මේ මොහොතේ සිව්දෙනෙකු සේවය කරමින් සිටි අතර, ඔවුන් අතරින් මාවනැල්ල, කහකොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි යු.ඩබ්ලිව්.පී. ජයම්පති ජයරත්න මහතාට දැඩි පිපාසයක් දැනී අසල නිවසකට වතුර බීමට ගොස් තිබෙනවා. ඔහු නැවත එන විට දැක ඇත්තේ, විශාල ශබ්දයක් සමඟ පස් කන්ද කඩා වැටී තමන්ගේම මිතුරන් තිදෙනා ඊට යටවන අවාසනාවන්ත දසුනයි. “අපි දවස් හතරක් තිස්සේ එකට වැඩ කළා. මම වතුර ටිකක් බීලා එනකම් මරණය එයාලට අත වැනුවා” යනුවෙන් ඔහු මහත් කම්පනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, ගල්අතර, පාට්ටගම පදිංචි 63 හැවිරිදි පී.ජී. ජිනසෝම, එම ගම්මානයේම 40 හැවිරිදි එස්.පී. ලලිත් ප්‍රියන්ත සහ ගල්අතර, ඇපලව ප්‍රදේශයේ ඩබ්ලිව්.ආර්. සිටි සංජීව නන්දසිරි යන අයයි. මේ වන විට ඔවුන්ගේ දේහයන් මාවනැල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (30) පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. ප්‍රදේශවාසීන්, පොලීසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව පැය දෙකකට ආසන්න කාලයක් දැඩි වෙහෙසක් දරා මෙම පුද්ගලයන් ගොඩගැනීමට උත්සාහ කළද, අවාසනාවකට ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා. මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.