ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී දහසය දෙනෙකුගේ ජීවිත බිලිගත් ඛේදනීය බස් අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට නවතම සහ තරමක් කම්පන සහගත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. අනතුරට පෙර බස් රථය ගැටුණු, රුපියල් ලක්ෂ 880ක් වටිනා සුඛෝපභෝගී රේන්ජ් රෝවර් ජීප් රථයේ සවිකර ඇති කැමරා පද්ධතියේ කිසිදු දර්ශනයක් පටිගත කිරීමේ හැකියාවක් නොමැති බවට එම රථයේ මෙරට අලෙවි නියෝජිත සමාගම විසින් ඇල්ල පොලීසියට ලිඛිතව දැනුම් දී ඇත.මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව තීරණාත්මක සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමට පොලීසිය දැඩි උත්සාහයක නිරත වූ අතර, ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගනිමින් මෙම සුඛෝපභෝගී ජීප් රථයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමට අපේක්ෂා කළේය. එහෙත්, අලෙවි සමාගම පෙන්වා දී ඇත්තේ අදාළ රථයේ සජීවීව ක්‍රියාත්මක වන කැමරා හතර, රියදුරුගේ පහසුව සඳහා පමණක් ක්‍රියාත්මක වන ඒවා බවත්, ඒවා මගින් වාහනය පැදවීමට අවශ්‍ය සජීවී රූප ලබාදුන්නද, කිසිදු පටිගත කිරීමක් සිදු නොවන බවත්ය. තාක්ෂණිකව මෙය සනාථ කර තිබේ.එම සමාගමට අනුව, මෙවැනි අධි සුඛෝපභෝගී රථවල දර්ශන පටිගත කිරීමේ මෘදුකාංගය ස්ථාපනය කරනු ලබන්නේ වාහන හිමිකරුගේ විශේෂ ඉල්ලීමකට අනුව පමණක් වන අතර, මෙම ජීප් රථයේ හිමිකරු එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවත්, බොහෝ පාරිභෝගිකයන් මෙම පහසුකම ඉල්ලා නොසිටින බවත් සමාගම වැඩිදුරටත් පොලීසියට දන්වා ඇත.මේ අතර, බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍රසේකර මහතා විසින් රුපියල් කෝටි 8ක බැඳුම්කරයක් මත මෙම ජීප් රථය එහි ලියාපදිංචි හිමිකරු වෙත මුදා හැරීමට නියෝග කර තිබේ. කෙසේවෙතත්, විමර්ශන අවසන් වන තෙක් වාහනය විකිණීම, එහි හිමිකාරීත්වය පැවරීම හෝ වර්ණය වෙනස් කිරීම සපුරා තහනම් කරමින් හිමිකරුට දැඩි කොන්දේසි පනවා ඇත.