රටේ ප්‍රධාන ආහාරය වන සහල් මිල සම්බන්ධයෙන් මේ දිනවල විශාල ආන්දෝලනයක් මතුව තිබේ. විශේෂයෙන්ම කීරි සම්බා සහල් හිඟයක් සහ එහි මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යෑම පිළිබඳව ජනතාව අතර දැඩි කතාබහක් පවතී. කෙසේ වෙතත්, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසන්නේ, කීරි සම්බා හැර අනෙකුත් සහල් වර්ගවල කිසිදු හිඟයක් ඉදිරි මාස කිහිපය තුළ ඇති නොවන බවට රජය සහතික වන බවයි. සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවල සහල් හිඟයක් ඇති වුවද, මෙවර යල කන්නයේ වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවති බැවින් එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරන බව ඔහු අවධාරණය කරයි. වී අලෙවි මණ්ඩලය, ලංකා සතොස සහ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව ප්‍රමාණවත් වී තොග පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. කීරි සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පළවන්නේ බරපතල චෝදනාවකි. ඔහු පවසන්නේ, මහා පරිමාණ මෝල් හිමියන් මෙම තත්ත්වය සිය වාසියට හරවා ගනිමින් සිටින බවයි. රජය විසින් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 132 කට මිලදී ගත යුතු බවට උපදෙස් දී තිබියදීත්, මෙම මෝල් හිමියන් එය රුපියල් 170-175 වැනි අධික මිලකට මිලදී ගෙන ඇති බව හෙළිදරව් වී ඇත. එවැනි මිලකට වී මිලදී ගත් විට, රජය විසින් නියම කරන ලද රුපියල් 260 ක උපරිම සිල්ලර මිලට සහල් කිලෝවක් අලෙවි කිරීම ඔවුන්ට පාඩු වන බැවින්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඇතිවන සාමාන්‍ය හිඟය අවභාවිත කරමින්, අධික මිල ගණන් යටතේ කීරි සම්බා සහල් අලෙවි කිරීමට ඔවුන් උත්සාහ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කරයි. මේ පිටුපස සැඟවී ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්දැයි ජනතාවට ප්‍රශ්නයක් මතුව තිබේ.
			












			
                                













