වවුනියාවේ කුඩාන්කුලම ප්‍රදේශයේදී ඊයේ (ජූලි 11) රාත්‍රියේ සිදුවූ ඛේදවාචකයක් හේතුවෙන් එක් පුද්ගලයකුට දිවි අහිමි වී ඇති අතර, ඒ ආශ්‍රිතව ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, රථ වාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමේදී එය අනතුරට ලක්වූ බවයි. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. වාර්තාවන ආකාරයට, පොලිස් ලුහුබැඳීම අතරතුර යතුරුපැදිකරු යතුරුපැදිය සමඟ මාර්ගයේ ඇද වැටී හිස මාර්ගයේ වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව, කුමාත්තුලම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් පොලීසියට දැඩිව චෝදනා කරමින් කලහාකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වෙනවා. ඔවුන් මළ සිරුර රැගෙන යාමට විරුද්ධත්වය පළ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, පොලීසිය වෙත මළ සිරුර භාරදිය නොහැකි බවත් පවසා තිබෙනවා.
මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වවුනියාව ප්‍රාදේශීය පොලිස් අධිකාරීවරයා, වවුනියාව හදිසි මරණ පරීක්ෂකවරයා සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. ඔවුන්ගේ මැදිහත්වීමෙන් පසු මෘත ශරීරය වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
අවාසනාවන්ත ලෙස, මෙම කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ පහරදීම්වලින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මකයි.


