ලොව පුරා ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram, සිය වේදිකාවේ අන්තර්ගතයන් සොයාගැනීම සඳහා භාවිතා කරන hashtags සම්බන්ධයෙන් නව සීමාවක් පරීක්ෂා කරමින් සිටින බවට කසුකුසුවක් පැතිරෙයි. දැනට පලකිරීමකට hashtags 30ක් දක්වා එකතු කිරීමට අවසර ඇති නමුත්, අලුත්ම වාර්තා අනුව, Meta සතු මෙම වේදිකාව පලකිරීමකට එකතු කළ හැකි hashtags ගණන 3කට සීමා කිරීමට පරීක්ෂණ සිදුකරන බව සඳහන් වේ. සමහර පරිශීලකයින්ට දැනටමත් hashtags තුනකට වඩා එකතු කිරීමට උත්සාහ කරන විට අලුත් දැනුම්දීමක් ලැබී ඇති බව DroidApp වාර්තාවක් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම වෙනස තවමත් සියලුම පරිශීලකයින්ට බලපා නොමැති අතර, මෙය පුළුල් ලෙස නිකුත් කිරීමට පෙර සිදුකරන සීමිත පරීක්ෂණයක කොටසක් බව විශ්වාස කෙරේ. Meta සමාගම මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. නමුත් මෙය A/B පරීක්ෂණ ක්‍රමවේදයක් යටතේ සිදුවන බවට අනුමාන කෙරේ. Instagram සිය පරිශීලකයින්ට තමන්ගේ කැමැත්ත අනුව නිර්දේශයන් සකස් කර ගැනීමට ඉඩ සලසන තවත් නව විශේෂාංගයක් (Reels සහ Explore පිටුව සඳහා) පරීක්ෂා කරමින් සිටින බවද මෑතකදී ප්‍රකාශ විය. මෙම hashtags සීමාව ක්‍රියාත්මක වුවහොත්, අන්තර්ගත නිර්මාණකරුවන්ට සහ ව්‍යාපාරවලට එය සැලකිය යුතු ලෙස බලපෑ හැකි බවට මත පළවේ.































