කොල්ලුපිටියේ රසම රස චීස් කොත්තු සඳහා ප්‍රසිද්ධ ‘හොටෙල් ඩි ප්ලාසා’ ආපනශාලාව ඉදිරිපිටදී සේවකයන් සහ ආහාර ගැනීමට පැමිණි පිරිසක් අතර දරුණු ගැටුමක් ඇතිවී තිබෙනවා. රසම රස කෑමක් බලාපොරොත්තුවෙන් ගිය පිරිසකට අමතක නොවන අත්දැකීමක් එක් කරමින්, පෙරේදා (22) දින මෙම සිදුවීම වාර්තා වුණා. ආරම්භයේදී ආහාර ලබාදීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇතිවූ සුළු බහින්බස්වීමක්, පසුව දරුණු ලෙස උත්සන්න වී තිබෙනවා. වාර්තා වන ආකාරයට, ආපනශාලාවේ සේවකයන් කිසිදු වෘත්තීය භාවයකින් තොරව, පුටු සහ පොලු පවා භාවිත කරමින් පාරිභෝගිකයන්ට පහර දී ඇති අතර, මෙම ගැටුමෙන් එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය තහවුරු කළා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, මේ වන විටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.































