ඇමරිකානු බිලියනපති හෙජ් ෆන්ඩ් කළමනාකරු බිල් ඇක්මන්, තරුණ පිරිමින්ට ගැහැණු ළමයින් හමුවීමට අදාළව ලබා දුන් උපදෙසක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. අන්තර්ජාල සංස්කෘතිය නිසා තරුණ පිරිමින්ට පොදු ස්ථානවලදී කාන්තාවන් හමුවීමට අපහසු වී ඇති බවට ඔහු කනස්සල්ල පළ කර තිබුණා. “මම තරුණ කාලේ මට ආකර්ෂණීය කෙනෙක් හමුවුණාම කතා කරන්න පාවිච්චි කළ වචන ටිකක් බෙදාගන්න හිතුණා. මම ඇහුවේ ‘May I meet you?’ කියලා, ඊට පස්සේ තමයි සංවාදයක් ඇති කරගත්තේ” යැයි ඇක්මන් පසුගිය සෙනසුරාදා පළ කළ සටහනක සඳහන් කර තිබුණා. ෆෝබ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 9.3ක ධනවතෙකු වන ඇක්මන් කියා සිටින්නේ, ඔහුගේ තරුණ කාලයේදී මෙම ‘පික්-අප් ලයින්’ එකට ‘නැහැ’ කියා ප්‍රතිචාර ලැබුණේ ඉතා කලාතුරකින් බවයි. “නිවැරදි ව්‍යාකරණ සහ ආචාරශීලීත්වය එහි සාර්ථකත්වයට හේතුව” බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. “අපේ ඊළඟ පරම්පරාවේ සතුට සහ ජනගහන ප්‍රතිස්ථාපන අනුපාත ගැන කනස්සල්ලෙන් ඉන්න, සතුටින් විවාහ වූ වැඩිහිටියෙකුගෙන් ලැබෙන පොඩි උපදෙසක්” ලෙස ඔහු මෙය හඳුන්වා දුන්නා. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම උපදෙස ඉක්මනින්ම ‘මීමස්’ බවට පත් කළ අතර, එය එතරම් සාර්ථක නොවන බවට උපහාසාත්මකව අදහස් පළ කළා. සමහරු විකට නළු ෂේන් ගිලිස්ගේ ඡායාරූප සමඟ “May I meet you?” යනුවෙන් සටහන් කර තිබූ අතර, තවත් සමහරු ක්‍රීඩා තරගයකදී කාන්තාවක් පිරිමියෙකු ප්‍රතික්ෂේප කළ අවස්ථාවකට මෙම වාක්‍යය එක් කර තිබුණා. “අඩි 6 අඟල් 3ක් උස හෙජ් ෆන්ඩ් බිලියනපතියෙක් ‘May I meet you?’ කියනවා” යනුවෙන් නිළි සිඩ්නි ස්වීනි සිනාසෙන ඡායාරූපයක් සමඟ සටහන් කර, “අඩි 5 අඟල් 8ක් උස, ඩොලර් 160K උපයන ජූනියර් බැංකුකරුවෙක් ‘May I meet you?’ කියනවා” යනුවෙන් ඇය අකමැති මුහුණක් පෙන්වන ඡායාරූපයක් සමඟ සසඳා තිබුණා. තවත් අයෙකු Hinge dating app එකේ, කාන්තාවන් පස් දෙනෙකුට “May I meet you?” යැවූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු Screenshot එකක් පළ කර තිබුණා. බිලියනපතියෙකුගේ මෙම ‘සරල’ උපදෙස, ඔහුගේ ධනය නොමැතිව සාමාන්‍ය පුද්ගලයන්ට කොතරම් දුරට ප්‍රායෝගික වේද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

































