දඹුල්ල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූයේ සමස්ත සමාජයම කම්පාවට පත් කළ ඛේදනීය පුවතකි. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි දහනව හැවිරිදි තරුෂි චමෝදි නැමැති දක්ෂ සිසුවිය සිය නිවස තුළදීම අවාසනාවන්ත ලෙස දිවි තොරකරගෙන තිබේ. දඹුල්ල, ඉහළ ඇරෑවුල ගම්මානයේ පදිංචිව සිටි තරුෂි, දඹුල්ල ජාතික පාසලේ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටියාය. සිද්ධිය වූ දින උදෑසන ඇය අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් සොයා බැලීමේදී දියණිය සිහිසුන්ව සිටිනු දැක වහාම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. එහෙත්, රෝහලට ගෙන යන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කළේය. පසුව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇය වස වර්ගයක් පානය කිරීමෙන් මියගොස් ඇති බවයි. මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් තරුෂිගේ මව සඳහන් කළේ තම දියණිය ඉගෙනීමට අතිශය දක්ෂ සිසුවියක් බවත්, බොහෝ විට කාමරයට වී අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත්ය. ඇය ගමේ අය සමඟ වැඩි කතාබහක් නොමැති, පාඩුවේ සිටීමට කැමති අයෙක් වුවද, ඉක්මනින් කේන්ති යාමේ දුර්වලතාවයක් තිබූ බව මව පවසා ඇත. මෙවැනි තීරණයක් ගැනීමට හේතුව තමන්ට සිතාගත නොහැකි බවත්, පසුව දියණියගේ කාමරය පරීක්ෂා කිරීමේදී “අම්මේ මම ජීවිතයෙන් සමුගන්නවා” යනුවෙන් සඳහන් කළ ලිපියක් හමුවූ බවත් ඇය හෙළි කළාය. තරගකාරී විභාග රටාව තුළ ඇතිවන අධික පීඩනය සහ අසමත් වේ යැයි යන බිය හේතුවෙන් තරුෂි මෙම ඛේදනීය තීරණය ගෙන ඇති බවට සැක කෙරේ. කෙසේ වෙතත්, ඇය පානය කළ වස කුප්පිය තවමත් හමුවී නොමැත. මේ සිදුවීම, අධ්‍යාපන පීඩනය හමුවේ දරුවන් මුහුණ දෙන මානසික ගැටලු පිළිබඳව සමාජයේ අවධානය යොමු කළ යුතු බවට නැවත වරක් සිහිගන්වයි.





























