ඇමරිකානු ඉතිහාසයේ විසඳිය නොහැකිම අභිරහසක් ලෙස සැලකෙන D.B. කූපර්ගේ සිද්ධිය ගැන අලුත්ම තොරතුරු පෙළක් මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබෙනවා. 1971 නොවැම්බර් 24 වැනිදා, ඩෑන් කූපර් නම් වූ අද්භූත පුද්ගලයෙක් පෝට්ලන්ඩ් සිට සියැටල් බලා පියාසර කරමින් තිබූ Northwest Airlines ගුවන් යානයක මගියෙකු ලෙස ගමන් ගත්තා. ඔහු ගුවන් සේවිකාවකට බෝම්බයක් ඇති බවට සටහනක් දී, ඩොලර් 200,000ක් (අද වටිනාකම ඩොලර් මිලියන 1.5ක් පමණ), පැරෂුට් හතරක් සහ ගුවන් යානයට ඉන්ධන පිරවීමට ඉන්ධන ට්‍රක් රථයක් ඉල්ලා සිටියා. සියැටල්හිදී මගීන් සහ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු මුදා හැරීමෙන් පසු, කූපර් ගුවන් යානය මෙක්සිකෝව බලා පියාසර කරවන ලෙස අණ කර, අතරමගදී අභිරහස් ලෙස පැරෂුටයකින් පැන අතුරුදන් වුණා. වසර ගණනාවක් තිස්සේ ඔහු හෝ මුදල් සොයා ගැනීමට නොහැකි වූ අතර, 1980 දී ඔරිගන්හි කොලොම්බියා ගඟ අසලදී කුඩා දරුවෙකුට එම මුදල්වලින් කොටසක් හමු වුණා. FBI ආයතනය 2016 දී මෙම නඩුව වසා දැමුවත්, මේ වසරේ (2024) සහෝදර සහෝදරියන් දෙදෙනෙක් ඉදිරිපත් වෙමින් කියා සිටියේ ඔවුන්ගේ පියා වන රිචඩ් ෆ්ලොයිඩ් මැකෝයි ජූනියර් (Richard Floyd McCoy Jr.) තමයි D.B. කූපර් කියලා. මැකෝයි, හමුදා පැරෂුට් පුහුණුව ලැබූ අයෙක් වන අතර, 1972 දී සිදු වූ සමාන ගුවන් යානා පැහැර ගැනීමක් සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් විඳ ඇත. ඔහු වසර දෙකකට පසු මිය ගියත්, D.B. කූපර්ගේ අභිරහස තවමත් සම්පූර්ණයෙන් විසඳී නැහැ. මේ කතාවේ ඇත්ත කවුද? මැකෝයිට මේ අභිරහස් මංකොල්ලය සිදු කළ බවට තවමත් නිශ්චිත සාක්ෂි නැහැ.




























