සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පැවැත්වූ සබඳතා මුල් කරගනිමින්, ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පෙරේදා (21) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. CID දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරුවේ අදාළ අංශය හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි පියුමි හංසමාලි, වෙනදා මෙන් නොව මාධ්‍ය මඟහරිමින් පිටව යාමට උත්සාහ කළා. මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය පැමිණියේ පැමිණිල්ලක් සිදු කිරීමට බව පැවසුවත්, නීතිඥයෙකු නොමැතිව පැමිණීම සහ ඇගේ හැසිරීම බොහෝ දෙනෙකුගේ සැකයට භාජනය වී තිබෙනවා.
CID විමර්ශනවලට අනුව, මේ වන විට රැඳවුම් භාරයේ සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදී පුදුම හිතෙන කරුණු රැසක් අනාවරණය වී ඇත. ඔහු මෙරට රංගන සහ නිරූපණ ශිල්පිනියන් පස් දෙනෙකු පමණ සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා. එමෙන්ම, මෙම ශිල්පිනියන් ඩුබායිහි සංචාරය කළ අවස්ථාවලදී පද්මේ සමඟ රැඳී සිටිමින් ලබාගත් ඡායාරූප කිහිපයක්ද ඔහුගේ දුරකථනයේ තිබී සොයාගෙන ඇති අතර, පියුමි හංසමාලි සහ පද්මේ අතර සිදුවූ දුරකථන සංවාද පිළිබඳ දත්තද CID සතුව පවතින බව සඳහන්.
අදාළ ඡායාරූපවල සිටින අනෙකුත් රංගන සහ නිරූපණ ශිල්පිනියන්ගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙයට අමතරව, පියුමි හංසමාලි මහත්මියගේ හදිසි ධනවත් වීම සම්බන්ධයෙන් සහ ඇගේ බැංකු ගිණුම් 20ක් හරහා රුපියල් කෝටි 400ක පමණ මුදලක් සංසරණය වීම පිළිබඳව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ සිදුවීම් මධ්‍යයේ, පියුමි හංසමාලි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ, තමන් 2022 වසරේ ඩුබායිහි පැවති උත්සවයකදී පද්මේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවූ බවත්, ඔහු තම සම ආලේපන නිෂ්පාදන මිලදී ගැනීමට කැමැත්ත පළ කළ බවත්ය. තමන් කිසිදු නීති විරෝධී මුදලක් ලබාගෙන නොමැති බවත්, තමන් තනියම නැගී සිටි ‘යකඩ ගැහැනියක්’ බවත් ඇය එම සටහන මගින් තරයේ කියා සිටියා.