හුංගම, රන්න ප්‍රදේශයෙන් වාර්තා වූ ද්විත්ව ඝාතනයක් මේ වන විට මුළු රටම කම්පා කරවමින් සිටී. ඝාතනයට ලක්ව ඇත්තේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට චෝදනා ලැබූ ‘බෝ පසිඳු’ නමින් ප්‍රකට 28 හැවිරිදි ධීවරයෙකු සහ 27 හැවිරිදි ඉමේෂා මධුභාෂණී නම් කාන්තාවකි. මෙම යුවළ අනියම් සම්බන්ධතාවයකින් පසු වූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මුහුණු ආවරණය කරගත් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අලුයම් කාලයේදී මෙම බිහිසුණු අපරාධය සිදුකර ඇත. ඝාතනය සිදුවූ නිවස දැනට බන්ධනාගාරගතව සිටින ‘කුඩු නුවන්’ නමැත්තෙකුට අයත් එකක් වන අතර, මියගිය පසිඳු සිද්ධියට දින දෙකකට පෙර එහි තාවකාලිකව නවාතැන් ගෙන තිබේ. ඝාතකයින් නිවසට ඇතුළු වී ඇත්තේ නිවසේ හිමිකරුගේ බිරිඳ වැසිකිළි යෑමට පිටතට පැමිණි අවස්ථාවේ ඇයව නිහඬ කරමිනි. පසිඳුගේ හිස කඳින් වෙන්වන ලෙස තියුණු ආයුධවලින් පහර දී ඇති අතර, ඉමේෂාගේ ගෙල ප්‍රදේශය ද කපා කොටා ඝාතනය කර ඇත. මෙම ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ පෙර අනියම් සැමියා වූ ‘බින්දු’ නමැත්තායි. මොහු ඊයේ (7) දහවල් හුංගම පොලිසියට භාර වී තිබේ. ‘බින්දු’ සහ ‘බෝ පසිඳු’ කලක් බන්ධනාගාරයේ සිටියදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. මීට මාස කිහිපයකට පෙර ‘බින්දු’ විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් පසිඳු බරපතළ තුවාල ලබා මාසයකට අධික කාලයක් රෝහල් ගතව සිට ඇත. මියගිය යුවළ දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චෝදනාවලට ඇප මත නිදහස්ව සිටි අය බවත්, මියගිය කාන්තාව වෙනත් පුරුෂයන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත් හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පස්වන සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ඝාතනයේ සැබෑ පසුබිම තවදුරටත් අනාවරණය වෙමින් පවතී.