සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය පුරා දැඩි කතාබහකට ලක්වූ, ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවයට ගොස් රැකියාවට නොගොස් විවිධ ස්ථානවල සැරිසැරූ ශ්‍රී ලාංකිකයා නැවත මෙරටට පිටත් කර හැරීමට කටයුතු කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක් ද ඔහු සමඟ කොළඹ බලා පිටත්ව ගොස් ඇත. ඊයේ (19) උදෑසන ඔහු ටෙල්අවිව් ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව සඳහන්. පසුගිය දින කිහිපය තුළ ඔහුට රැකවරණය දුන් සියලු දෙනාට තානාපතිවරයා සිය ස්තුතිය පුද කර ඇත. මේ අතර, ඊශ්‍රායලයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයෙකු ද මෙරටට එවා ඇති අතර, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වී තිබූ බැවින් තානාපති කාර්යාලය මගින් නොමිලේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දී තිබේ. මෙම වසර තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ගැටලුවලට මුහුණ දී මෙරටට එවා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 07ක් වන අතර, ඔවුන් අතර එක් කාන්තාවක් ද සිටී. ඊට අමතරව, මත්පැන් පානය කර නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකු ද සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පිටත් කර එවා ඇත. ඊශ්‍රායලයේදී දිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි බව වාර්තා වේ. මේ හේතූන් නිසා මත්පැන් හා මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් ඊශ්‍රායලයේ රැකියාවලට නොයවන ලෙස තානාපතිවරයා දැඩි ලෙස ඉල්ලා සිටියි.