නේපාලයේ දේශපාලන කරළිය මේ දිනවල උණුසුම් වී ඇත්තේ අන්තර්කාලීන අගමැති ලෙස හිටපු අගවිනිසුරු සුශීලා කාර්කි මහත්මිය පත්වීමත් සමඟයි. 73 හැවිරිදි ඇයගේ පත්වීමට යම් විරෝධතා තිබුණත්, අපේක්ෂකයන් අතරින් ඇය ජයග්‍රහණය කළා. මේ පත්වීමත් එක්ක ඇය ලෝකයේම අවධානය දිනාගෙන සිටිනවා. නමුත් මේ ප්‍රසිද්ධියත් එක්කම, ඇගේ සැමියා වන දුර්ගා ප්‍රසාද් සුබෙදි මහතා සම්බන්ධව මීට වසර ගණනාවකට පෙර සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන නැවත කතාබහක් ඇතිවෙලා. ඒ 1973 ජුනි 10 වැනිදා නේපාල කොංග්‍රසය විසින් සිදුකළ ගුවන් යානා පැහැරගැනීමේ සිදුවීමයි. වාරණාසි හින්දු විශ්වවිද්‍යාලයේදී සුශීලා කාර්කි මහත්මියට හමුවූ දුර්ගා ප්‍රසාද් සුබෙදි, එවකට නේපාල කොංග්‍රසයේ තරුණ නායකයෙක්. ඔවුන් දෙදෙනා විවාහ වුණාට පස්සේ තමයි මේ සිදුවීම සිදුවෙන්නේ. මහේන්ද්‍ර රජුට එරෙහිව පැවති විරෝධතා සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එවකට නේපාල කොංග්‍රසයේ නායකයෙකු වූ ගිරිජා ප්‍රසාද් කොයිරාලා (පසුව නේපාල අගමැති වූ) විසින් මේ කුමන්ත්‍රණය සැලසුම් කරලා තියෙන්නේ. මේකට සුබෙදි මහතා සමඟ නාගේන්ද්‍ර ධුංගේල් සහ බසන්ත් භට්ටාරායිත් සම්බන්ධ වෙලා. එන්ජින් දෙකක් සහිත නේපාල ගුවන් යානයක් සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙක් විසින් පැහැරගෙන තියෙනවා. මේ යානයේ නේපාල රාජ්‍ය බැංකුවට අයත් ඩොලර් 400,000ක පමණ විශාල මුදලක් තිබිලා. පැහැරගත් පිරිස ගුවන් යානය ඉන්දියාවට ගෙනිහින්, බිහාර්හි ෆෝබ්ස්ගන්ජ් වෙත ගොඩබස්සලා, මුදල් අරගෙන වනාන්තරයකට පලා ගිහින්. නිලධාරීන් පවසා ඇත්තේ, මොවුන් මගීන් ලෙස ගුවන් යානයට නැඟී සිටියත්, ගුවන් ගත වූ පසු තුවක්කු පෙන්වා යානය සිය පාලනයට ගත් බවයි. ෆෝබ්ස්ගන්ජ්හිදී තවත් පස් දෙනෙකු ඔවුන් එන තෙක් බලා සිට ඇති අතර, සුශීල් කොයිරාලා ද මේ මුදල් ලබා ගැනීමට එහි සිටි බවත්, මේ සිදුවීම නිසා ඔහුට ඉන්දීය බන්ධනාගාරයේ වසර දෙකක් ගත කිරීමට සිදුවූ බවත් රොයිටර්ස් වාර්තා කරලා. මුදල් අඩංගු පෙට්ටි තුන බාගෙන, කුමන්ත්‍රණකරුවන් යානය පිටත් කර හැර වනාන්තරයට පලා ගියත්, වසරක් ඇතුළත ධුංගේල් හැර අනෙක් සියලුම දෙනා ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුබෙදි මහතාටත් වසර දෙකක් බන්ධනාගාරයේ සිටීමට සිදුවී ඇති අතර, 1980 දී ඔවුන් නැවත නේපාලයට පැමිණ තිබෙනවා. පසුව 2014 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්‍රාමික නේපාල තානාපති දිනේෂ් භට්ටාරායි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, මේ මුදල් ඔවුන්ගේ පක්ෂය විසින් රාජාණ්ඩුවට එරෙහිව කරන ලද සටන සඳහා යොදාගත් බවයි. අදටත් නේපාල දේශපාලනයේ මේ සිදුවීම කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වෙලා.