කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේදී ඊයේ (ජූලි 11) සවස සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් නවතම තොරතුරු අනාවරණය වී තිබෙනවා. පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මෙම ප්‍රහාරය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ෂාන් මල්ලි’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවටයි.
ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි නිමුතු අභිෂාන් (රන් මහත්තයා) තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා. ඔහු ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටියදී, හුන්ගල්ල ප්‍රදේශයේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වෙඩික්කරුවන්ගේ සැබෑ ඉලක්කය මෙම තරුණයා නොවන බවයි. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරු වන ‘බාලේ’ නැමැත්තා බව හෙළිවී තිබෙනවා. ඊයේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බාලේ’ නැමැත්තාගේ සහෝදරයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සිදුවීමත් සමඟ ‘බාලේ’ නැමැත්තාට මීට වසර දෙකකට පමණ පෙරද අහුන්ගල්ලේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එම ප්‍රහාරයෙන්ද ‘බාලේ’ නැමැත්තා තුවාල ලබා තිබුණා.
‘බාලේ’ නැමැත්තා සහ ‘ෂාන් මල්ලි’ නැමැත්තා අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුවන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. කොස්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.