කොල්ලුපිටියේ පිහිටි හෝටලයක් තුළ ජර්මන් ජාතික තරුණියක්ව මත්කර දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි.
කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට මුහුණදී ඇත්තේ 32 හැවිරිදි තරුණියක් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි මෙරට ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ජර්මන් තරුණියව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඇති බවය.
සැකකාර ව්‍යාපාරිකයා වසර 6ක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයෙක් වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් වාර්තා වෙයි.
ඉකුත් දෙසැම්බර් 18 වනදා මෙරටට පැමිණ ඇති ඇය තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබුණි.
ඒ අතර සැකකාර ව්‍යාපාරිකයා සමග නුවර ප්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලීසිය පැවසීය.
පසුගිය 6වනදා මෙරටින් පිටව යාමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සමග ඉකුත් 4වනදා කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් තිබේ.
එදින රාත්‍රී සමාජශාලාවකට දෙදෙනාම ගොස් ඇති අතර පසු දින අලුයම වනතෙක් එහි රැඳී සිටිමින් මත්පැන් පානය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
තරුණියගේ ක්‍රෙඩිට් කාඩ් පත එම අවස්ථාවේදී අස්ථානගතවී ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී තිබේ.
අනතුරුව තරුණිය පමණක් ත්‍රීරෝද රථයකින් ඇය නැවතී සිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ තිබුණි.
එහිදී ද ඇය මත්පැන් පානය කර ඇති අතර එම අවස්ථාවේදී හෝ රාත්‍රී සමාජශාලාවේදී මත්වීමට යමක් දෙන්නට ඇති බව තරුණිය පොලීසියට පවසා තිබුණි.
තමන් නැවතී සිටි හෝටලයේදී නින්දෙන් අවදි වනවිට තමාට දූෂණයක් සිදුවී ඇති බව අනාවරණය වූ බවත් ඒ සම්බන්ධයෙන් සොයාගත් සාක්ෂිත් රැගෙන ඇය පොලීසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.