අවුරුදු 15ක් වයසැති තරුණියකට පෙම්බැඳි ඥාති සහෝදරයන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් මත එක් සහෝදරයකු අනෙක් සහෝදරයාගේ ගෙල වීදුරු කැබැල්ලකින් කපා ඔහු ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ කඩවත, ගෝනහේන පදිංචි අවුරුදු 20ක් පමණ වයසැති රාජු මධුසංඛ නමැති තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 19ක මියගිය තරුණයාගේ ඥාති සොහොයුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියගිය තරුණයා අත්අඩංගුවට ගත් සැකකාර තරුණයාගේ මවගේ සොහොයුරාගේ පුතා බව පොලිසිය කියයි.
පොලිසිය පවසන අන්දමට සිද්ධිය මෙසේය. අවුරුදු 15කුත් මාස 8ක් වයසැති ළාබාල තරුණිය සමඟ මීට මාස කිහිපයකට පෙර සැකකාර තරුණයා ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන තිබේ. ඒ වන විට ඇය මීගමුව ප්‍රදේශයේ පරිවාස ආයතනයක රැඳී සිට එම ස්ථානයෙන් පැනවිත් තිබිණි.
එලෙස පරිවාසයෙන් පැනවිත් සිටි ඇය මෙම තරුණයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන තැන් තැන්වල රැඳී ඉකුත් 19 වැනිදා කඩවත ඇන්ඩෘෘස් පෙදෙසේ බෝඩිමකට පැමිණ ඇත. ඉන් අනතුරුව ඇය සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ තරුණයා රැකියාව සඳහා වැලිපැන්න ප්‍රදේශයට ගොස් තිබේ.
ඉකුත් 21 වැනිදා කඩවත සංගීත සන්දර්ශනයක් පැවැත්වී ඇති අතර මෙම ළාබාල තරුණිය හිතවතියන් කිහිපදෙනකු සමඟ එය නැරැඹීමට ගොස් තිබේ. එහිදී ඇයට ඇගේ පරණ පෙම්වතා මුණ ගැසී ඇත. අලුත් පෙම්වතා හා පැරැණි පෙම්වතා ඥාති සහෝදරයන්ය.
පසුව එදිනම රාත්‍රියේ ඇය පරණ පෙම්වතා සමඟ ඇය රැඳී සිටි බෝඩිම් කාමරයට ගොස් ඇති අතර ඒ වන විට අලුත් පෙම්වතා වැලිපැන්නේ රැඳී සිටින බව ඇය දැන සිටියාය.
ඒ අතරතුර අලුත් පෙම්වතාගේ මිතුරෙක් වැලිපැන්නේ සිටි ඔහුට මේ බව දන්වා තිබේ. “අන්න උඹේ කෙල්ල පරණ එකත් එක්ක බෝඩිමේ ඉන්නවා” යනුවෙන් පැවැසීමත් සමඟ අලුත් පෙම්වතා එදින 21දා අලුයම වැලිපැන්නෙන් පිටත්වී කඩවත පෙම්වතිය සිටි බෝඩිමට පැමිණ තිබේ.
ඒ වන විට බෝඩිම වසා දමා තිබූ අතර ළාබාල පෙම්වතිය පරණ පෙම්වතා සමඟ කාමරය තුළ රැඳී සිට ඇත. අලුත් පෙම්වතා දැක ඇත්තේ තම පෙම්වතිය පරණ පෙම්වතා සමඟ නිරුවතින් කාමරය තුළ සිටිනු අයුරුය. ඒ මොහොතේ කෝපයට පත් අලුත් පෙම්වතා පරණ පෙම්වතාට පහරදී ඇති අතර පරණ පෙම්වතා අලුත් පෙම්වතාගෙන් බේරීම සඳහා ඔහු පැත්තකට තල්ලු කර තිබේ. ඔහු වැටී ඇත්තේ කැඩුණු වීදුරු කටු උඩටය.
එතැන වැටී තිබූ වීදුරු කැබැල්ලක් අතට ගත් අලුත් පෙම්වතා වහා ඉදිරියට පැන පරණ පෙම්වතාගේ ගෙලට වීදුරු කටු පහරක් එල්ලකර එතැනින් පලාගොස් ඇත.
පසුව රාගම රෝහලට ඇතුළත් කළ තුවාල ලත් පුද්ගලයා රෝහලේදී මියගොස් තිබේ.
සිද්ධිය ගැන කඩවත පොලිසියට වාර්තාවීමෙන් අනතුරුව සැකකරු ඔහුගේ නිවෙසේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.