තම ගෙල බැඳි රන් මාලය කිසියම් පුද්ගලයකු විසින් මහමග දී කඩාගත් බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබාදුන් කාන්තාවකට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කළ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව බොරලන්ද ආවාස පාරේ ගමන් ගන්නා විට කිසියම් පුද්ගලයකු තමන්ගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගිය බවට පොලිසියට පවසා ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ එදින පෙරවරුවේ බවට අදාළ කාන්තාව පොලිසියට පවසා ඇතත් පොලිසියට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කරන විට සවස 5.30ට පමණ වී තිබීම නිසා මේ සම්බන්ධව පොලිසියට සැක සිතී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කළ අතර පසුව පොලිසිය විසින් මෙම කාන්තාව ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
අදාළ කාන්තාව වෙනත් කාන්තාවකගෙන් උත්සවයකට සහභාගි වීම සඳහා රන් මාලයක් ඉල්ලා ගෙන අති අතර එම මාලය මෙලෙස කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගිය බවට බොරු පැමිණිල්ලක් කර අදාළ රන් මාලය උකස් කර වෙනත් අයකුගෙන් ලබාගත් රුපියල් 60,000ක ණයක් පියවීමට කටයුතු කර ඇති බවයි හෙළිව ඇත්තේ.