කොවිඩ් – 19 වසංගතයෙන් පසුව පාසල්වල සියලුම පන්ති ආරම්භ කළ පළමු දිනයේදීම ගම්පහ-වතුරුගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් පාසල් නිල ඇඳුමින් රාගම ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතාගේ නිවෙසට පැමිණ සිටියදී රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පාසල් නිල ඇඳුමින් ත්‍රිරෝද රථයකින් පැමිණි සිසුවියක් නිවෙසක සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත රාගම වල්පොළ ලේක්සයිඩ් වත්තේ නිවෙසක් සෝදිසි කළ පොලිසිය බාලවයස්කාර සිසුවිය හා 19 හැවිරිදි ඇගේ පෙම්වතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම නිවෙස සෝදිසි කිරීමට යන විට සිසුවිය නිල ඇඳුම් හා සපත්තු මාරුකර වෙනත් බෑගයක දමා තිබියදී පොලිසියට හසුවී ඇත. සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එදින පාසල් යන බවට පවසා නිවෙසින් පැමිණි බවත් පාසල් නොගොස් ගම්පහ සිට ත්‍රිරෝද රථයකින් පෙම්වතා සමඟ රාගම ඔහුගේ නිවෙසට පැමිණි බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
සිසුවියගේ මවුපියන්වද මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර බාලවයස්කාර දැරිය පරිවාස භාරයට පත්කිරීමට ඔවුන්ද එකඟතාව පළකර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බාලවයස්කාර පාසල් සිසුවිය 23 වැනිදා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පරිවාස භාරයට යොමු කරන බවත් සැකකාර තරුණයා බාලවයස්කාර පාසල් සිසුවියක් අයථා ලෙස නිවෙසට රැගෙන ඒම සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.