වයස අවුරුදු 5යි මාස 10ක දැරියක්ට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු පරිවාස භාරයට යොමුකර ඇත.
කුලියාපිටිය මහෙස්ත්‍රාත්, ජනනි එස්. විජේතුංග මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.
එම නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරිය කියා සිටියේ, අන්තර්ජාලයයෙන් දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ ව දෙමාපියන් සුපරික්ෂාකාරී නොවුණහොත් එම දරුවාගේ පරිහානියට දෙමාපියන් ද වගකිවයුතු බවය.
මහෙස්ත්‍රාත්වරිය මෙලෙස කියා සිටියේ, වයස අවුරුදු පහක දැරියකට අතවර කළ බව කියන 14 හැවිරිදි පිරිමි දරුවාගේ මව අධිකරණයට කැඳවමිනි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර දරුවා හා ඔහුගේ බාල සොහොයුරා වින්දිත දැරිය පදිංචිව සිටින මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේ දීය.
එහි සිටින අතරතුරදී ඔහු විසින් අදාළ දැරිය අපයෝජනයට ලක්කර තිබූ බව සඳහන් වේ.
එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් රට වසාදැමීමට පෙර පාසල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බවට ලබාදුන් උපදසේ අනුව සැකකාර දරුවා සිය ටැබ් පරිගණකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කලක් නරඹා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සිය මවගේ සොහොයුරාගේ වයස 5ක දැරිය සමග එම අසභ්‍ය දසුන්වල ඇති දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පැවසූ බව පරිවාස නිලධාරීනිය සඳහන් කර ඇත.
සැකකාර දරුවා වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ ඇතිව තිබෙන ආරවුල් ආදිය හේතුවෙන් දෙපැත්තකින් දරුවා තැළෙමින් පවත්නා බැවින් එම බලවස්කාර සැකකරුට සුදුසු ඇපයක් ප්‍රදානය කරන ලෙසය.
අදාළ වින්දිත දැරිය කුලියාපිටිය රෝහලකට ඇතුළත් කර ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබුණි.
කරුණු පිළිබඳ අවධානය යොමුකළ මහෙස්ත්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැඳවා දරුවා අන්තර්ජාලය සමගින් කරන ගනුදෙනු පිළිබඳව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දැරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළාය.
එමෙන්ම දරුවකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට දෙමාපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙයවිය යුතු පිරිසක් බවත් ඇය පැවසුවාය.
පොලීසිය ඉල්ලා සිටි පරිදි විඩියෝ සාක්ෂි ලබාගැනීමට ළමාරක්ෂණ අධිකාරයට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
දරුවා ව මානසික සෞඛ්‍ය සායනයකට යොමුකරන ලෙසත් එහිදී පරිවාසයට නියෝගකර පූර්ණ පරිවාස වාර්තාවක් ඉදිරි දිනයට ඉදිරිපත් කළයුතු බවට නියම කරමින් සැකකාර දරුවා පරිවාස භාරයේ රඳවා තැබීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.
කඳනේගෙදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක දමිත් අසංක කරුණාසේන, පරිවාස නිලධාරිනිය වාසනා චන්ද්‍රපාල සැකකාර දරුවා ඉදිරපත් කරමින් කරුණු කී අතර නීතිඥ ආසිරි ප්‍රනාන්දු සැකකාර දරුවා වෙනුවෙන් පෙනී සිටියේය.