හෝමාගම පිටිපන ප්‍රදේශයේ කඨින පින්කමකට සහභාගි වී සිටි පුද්ගලයන් රැසකට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් නිසි අයුරින් පියවර නොගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මහාධිකරණයේ පිස්කල් නිලධාරියකු මෙන්ම කඨින පින්කම පැවැති නිවෙසේ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් මැර පිරිසගේ තියුණු ආයුධ ප්‍රහාර ලක්වී තුවාල ලැබීය.
එම පිරිසෙන් බහුතරයකගේ අත්පාවලට උරහිස්වලට මෙන්ම ශරීරයේ සෑම ස්ථානයකටම තියුණු ආයුධ ප්‍රහාර එල්ල වීමෙන් බරපතළ තුවාල සිදුවී තිබේ.
බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව එම නිලධාරියා කීය.
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන අතුරුගිරියේ ලඩියා නමැත්තාගේ ගෝලයන් බව පවසා ඉකුත් 24 වැනි දින මෙම පහරදීම සිදුකර තිබූ බව මූලික විමර්ශනයේදී හෙළිවී තිබූ බව එම පොලිස් නිලධාරියා කීය.
ඒ හේතුවෙන් තුවාල ලැබූවන් රෝහල් ගතව තිබුණේ විවිධ හදිසි අනතුරු සිදු වූ බවට ව්‍යාජ තොරතුරු පවසා බවත් උසස් පොලිස් නිලධාරියා කීය.
එදින මෙම පහරදීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි හතරක්ද හෝමාගම පොලිසිය වෙත පැමිණිල්ලක්ද ලැබී තිබුණද එය සුළු සිද්ධියක් ලෙස සලකා රාත්‍රි ජංගම මුර සංචාරක රථය පමණක් එම ස්ථානයට එවා කටයුතු කර තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන “මූකලානේ සුද්දා” නමැත්තාගේ නිවෙසට යතුරුපැදියකින් ත්‍රිරෝද රථයකින් සහ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර තිබූ අතර ප්‍රදේශවාසීන් ඔවුන් වටකර අල්ලාගෙන පහරදීමට සූදානම් වීමේදී අපි අතුරුගිරියේ ලඩියගේ ගෝලයෝ යැයි ජංගම දුරකථනයේ ඡායාරූපයක් පෙන්වමින් පලාගොස් තිබිණි.
හෝමාගම මූලික රෝහලට සහ කොළඹ ජාතික රෝහලට බරපතළ තුවාල ලද පුද්ගලයන් ප්‍රතිකාර සඳහා ඇතුළුවී සිටින බවට ඒ ඒ රෝහල් පොලිසි මඟින් නිසි අයුරින් දැනුම්දී තිබුණත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට කටයුතු කර නොතිබූ බව එම නිලධාරියා කීය.
තවද පහර දීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හෝමාගම පොලිසිය කටයුතු කර නොතිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය