විදේශ රටවලින් මෙරටට අවශ්‍යය කහ ගෙන්වීම නතර කිරීමත් සමඟ තම ගෙවත්තේ කහ වගා කොට එයින් ලැබෙන අස්වැන්න වෙළඳපලට ලබාදීම සහ තවත් පිරිසකට කහ වගා කිරීම සඳහා කහ බීජ සහ පැළ අලෙවි කිරීම තුලින් ජීවිතය ජය ගැනීමට දඹුල්ල කන්ඩලම කුඹුක්කඳන්වල උපාධිධාරිණියක සමත් වූවාය.
ඇය නමින් සුනේත්‍රා ශාමලී කුමාරි නම් වෙයි .දෙදරු මවක් වන ඇය උපාධිධාරිණියකි. ඊට අමතරව දේශීය පාරම්පරික වෛද්‍යවරියකි. ඇය උපාධිය අතේ තබාගෙන රට වටේ රැකියා ඉල්ලා ගම්න් කිරීම වෙනුවට නිවසේ සිට රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට මෙන්ම දේශීය ආයුර්වේදයට මුල්තැන දෙමින් තම ජීවිකාව ඇරඹූ බව සඳහන් කළාය.
කොරෝනා වසංගතය රට වෙලා ගනිද්දී නිවසට වී සිටි තම සැමියා විසින් ගෙන්විත් දුන් කහ කැබලි කීපයකින් කාබනික කහ වගාවට හුරු වූ බව ඇය පැවසුවාය.
මේ වන විට ඇයගේ වගාබිම තුළ ඇයටද වඩා උස කහ ගස් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි ,කාබනික පොහොර පමණක් යොදා ගෙන කහ වගාව ඇය සිදුකරන බවත් කිසිදු රසායනික පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය යෙදීම කින් තොරව මෙම කහ වගාව තමන් සිදුකරගෙන යන බව ඇය ආඩම්බරෙන් යුතුව පැවසුවාය.

