මහරගම පොලිස් වසමේ පවත්වාගෙන යන කුළුබඩු නිෂ්පාදන ආයතනයක හිමිකරුවකුගේ නිවෙසට අනවසරයෙන් ඇතුළුවී තමන් පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් යැයි පවසමින් රුපියල් 5,85,000කට අධික වටිනාකමකින් යුක්ත වූ කහ කිලෝ 135ක් කොල්ලකා පලාගිය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ඇතුළු තවත් සිවිල් පුද්ගලයකු පෙරේදා (18දා) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහරගම පොලිසියේ අපරාධ අංශය පවසයි.
කොල්ලකා ඇති කහ තොගයේ වටිනාකම රුපියල් පන්ලක්ෂ අසූ පන්දහසකට වඩා අධික බවත් කොල්ලකෑමට පැමිණි ත්‍රිරෝද රථය සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසීය.
කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරිකයා විසින් මුහුණුපොතේ පළ කර තිබූ වෙළෙඳ දැන්වීමකට අනුව දුරකථන ඇමතුමක් මාර්ගයෙන් කහවල මිල ගණන් විමසීමෙන් අනතුරුව කහ කිලෝ සියයක් පමණ අවශ්‍ය බවත් එය මිලදී ගැනීමට නොබෝ දිනකින් ව්‍යාපාරික ස්ථානයට පැමිණෙන බවත් මෙම යුද හමුදා සාමාජිකයා විසින් ව්‍යාපාරිකයාට පවසා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය පැවැසීය.
සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා කලුඅග්ගල ප්‍රදේශයේ පිහිටි 05 වැනි සන්නද්ධ බුද්ධි බළකායට අනුයුක්තව සේවය කරන 38 වියේ පසුවන ලාන්ස් කෝප්‍රල්වරයකු බවත් ඉහළ පොල්ගස්වත්ත, නූරිය, දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ලාන්ස් කෝප්‍රල්වරයා දැනට කොළඹ 10හි පිහිටි 14 වන සේනා මූලස්ථානයට අනුයුක්තව බුද්ධි නිලධාරියකු වශයෙන් සේවය කරන බවත් පොලිසිය පැවැසීය.
ඉකුත් 15 වැනි දින රාත්‍රි හතට පමණ ත්‍රිරෝදයකින් මෙම කුළුබඩු නිෂ්පාදන ව්‍යාපාරිකයාගේ නිවෙසට ගොස් මාංචු කුට්ටමක් සහ නිල් පැහැති හැඳුනුම්පතක් පෙන්වමින් තමන් පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ යැයි පවසමින් කහ කිලෝ 135ක් වැනි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම වරදක් බව පවසමින් ව්‍යාපාරිකයා සහ කහ ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පවසා ඇත.
එවිට ව්‍යාපාරිකයාගේ නිවෙසේ සිටි කුඩා දරුවන් දැඩි ලෙස බියට හා තැති ගැන්මකට ලක්ව ඇති බවත් පසුව උරවල බහා තිබූ කහ කිලෝ 135 මෙම කල්ලිය පැමිණි ත්‍රිරෝද රථයේ පටවාගෙන ව්‍යාපාරිකයා ද එහි නංවාගෙන රැගෙන ගොස් අතරමඟදී ව්‍යාපාරිකයාට තර්ජනය කර දමා ගොස් ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පැවැසීය.
පසුදින උදෑසන ව්‍යාපාරිකයා ඇමතූ හමුදා නිලධාරියා පවසා ඇත්තේ රැගෙන ගිය කහ ප්‍රමාණය නැවත භාරදීමට හැකි බවත් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙසත්ය.
පසුව ව්‍යාපාරිකයා මේ පිළිබඳව පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන් එදිරිසිංහ මහතා විසින් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ව්‍යාපාරිකයාට ඇමතුම ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී කහ තිබෙන ස්ථානය පිළිබඳව විමසීමක් කර තිබේ.
හමුදා නිලධාරියා පවසා ඇත්තේ පොලිසියේ ලොකු මහත්වරුන් සියලුදෙනාම මේ පිළිබඳව දැනුවත් කර ඇති බවත් කහ ප්‍රමාණය මාලිගාවත්ත ප්‍රදේශයේ ස්ථානයක තබා තිබෙන බවත් එය රැගෙන යන ලෙසත්ය.
දුරකථන ඇමතුමෙන් හමුදා සාමාජිකයාට ආමන්ත්‍රණය කළේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බව නොදැන පිළිතුරු දුන් ඔහු එදිනම දහවල් මහරගම පොලිස් ස්ථානය අසලට පැමිණ ඔහු සමඟ පැමිණි මිතුරකු පොලිස් ස්ථානය වෙත යවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත්දැයි විමසීමේදී ඔහු පිළිබඳව සැක සිතුණු පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදට පසුව පොලිස් ස්ථානය ඉදිරිපිට සිටින බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
පසුව සිදුකළ විමර්ශනයේදී මෙම බුද්ධි අංශ සාමාජිකයා සේවය කරන කලුඅග්ගල පිහිටි යුද හමුදා කඳවුරේම සේවය කරන සැරයන්වරයකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කුළුබඩු ව්‍යාපාරිකයකු වන මුස්ලිම් ජාතික පුද්ගලයකු හා කොල්ලකෑම සඳහා ත්‍රිරෝදය පදවාගෙන පැමිණි පුද්ගලයකු විසින් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා පින්කෙත පාර, හෝමාගම ලිපිනයේ පදිංචි යුද හමුදා නිලධාරියාගේ මිතුරෙක් බවත් යුද හමුදා සැරයන්වරයා සහ මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරික මුස්ලිම් ජාතික පුද්ගලයා මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇති බවත් වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයා සහ අනෙක් සිවිල් පුද්ගලයා 18 වැනි දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හා අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් බෝගහදෙනිය මහත්මිය විසින් නියෝග ලබාදී ඇති බවද පොලිසිය පැවැසීය.