වැලිගම නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයාගෙන තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි මියගිය අයට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බව හදුනාගෙන ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා වැලිගම පොලිස් වසමේ මිදිගම ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 49 ක් වන වරාය අධිකාරියේ සේවයෙහි නියුතු පුද්ගලයෙකු වන අතර එම පුද්ගලයා ඇතුළු පවුලේ සැම නිරෝධනය වෙමින් සිටි බවද පොලීසිය පවසනවා.
කෙසේ නමුත් මෙම සිදුවිම සිදුවු දින මෙම පුද්ගලයා ආහාර රැගෙන ඒමට වැලිගම නගරයට පැමිණි බවට පොලීසිය සිදු කල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇතැයි සදහන්.
මෙම පුද්ගලයා වැලිගම නගරයට පැමිණිමෙන් අනතුරුව කිසියම් අයෙකු සමග බහින් බස් වීමකින් පසුව මොහුට පහරදීමක් ද සිදුවී තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
පහරදීම සම්බන්ධව සැකකරුවකු සැකපිට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ආපන ශාලාවක සේවයෙහි නියුතු අයකු බව පොලිසිය පවසනවා.
මියගිය පුද්ගලයා පැමිණි බවට සැලකෙන යතුරු පැදියක් ද මෙම මෘත ශරීරයට ආසන්නව නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානය අවට සවිකර තිබූ සි.සි.ටි.වි. කැමරා දර්ශන පරික්ෂා කිරිම මගින් අනාවරණය වි ඇත්තේ මර්ගයේ වැටි සිටි මෙම පුද්ගලයා මතින් පෞද්ගලික බස්රථයක්ද ධාවනය වී පලායන ආකාරයයි.
ඒ අනුව අදාළ බස් රථය සහ එහි රියදුරු වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරිරය මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි අනාවරණය වි ඇත්තේ මිය ගිය පුද්ගලයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇති බවයි.
මෙම මරණයට හේතුව මනුෂ්‍ය ඝාතනයක් ද එසේ නොමැති නම් රිය අනතුරක් ද සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන කටයුතු සිදු වෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (20 ) මාතර මහා රෝහලේ සිදුකිරීමට නියමිතයි.
මෙහිදී මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ඉරණමඩු ප්‍රදේශයේ සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.