මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන අතිශය ජනාදරයට පත් ටෙලි නිර්මාණයකි නාඩගම්කාරයෝ.
එහි මේ දිනවල ජනප්‍රිය චරිත අතර සිටින “පාඨලී” එසේත් නැති නම් “සුදු චූටි” ඔබට මතක ඇති? ඇය සෙනාලි ෆොන්සේකා. නිළි රැජණගේ පරපුරේ තවත් එක් පුරුකක් වන ඈ මේ වන විට ක්ෂේත්‍රය තුළ ජනාදරයට පත් රංගන ශිල්පිනියකි. නාඩගම්කාරයෝ සහ රංගන ජීවිතයේ වතගොත ගැන සෙනාලි ෆොන්සේකා සරසවිය පුවත්පත සමග කළ සාකච්ඡාවකින් උපුටා ගත් කොටස් කිහිපයකි මේ.
සෙනාලි මේ දවස්වල නාඩගම්කාරියක් වෙලා
මේ දවස්වල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයත් එක්ක තමයි කාර්යබහුල. නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ මම රඟපාන පාඨලීගේ චරිතය ගොඩක් ජනප්‍රියයි. පාඨලී කියන නමට වඩා “සුදු චූටි” කියන නමෙන් තමයි හැමෝම මාව හඳුන්වන්නේ.
කොහොමද පාඨලීට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
ඇත්තටම මම හරි වාසනාවන්තයි මේ වගේ ප්‍රේක්ෂකයෝ අතරට යන නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම නිසා. නාඩගම්කාරයෝ කියන්නේ මගේ කලා ජීවිතයේ අමතක නොවන සන්ධිස්ථානයක්. මට ප්‍රේක්ෂක ආදරය ගොඩක් ලැබෙනවා. ජනවාරි මාසයේ දී ප්‍රේක්ෂකයා අතරට අපි මේ නිර්මාණය ගෙන ආවම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නොහිතපු වෙලාවක එවැනි දෙයක් වුණාම හරිම සතුටුයි. අපි මේ හැමදේම කරන්නේ ප්‍රේක්ෂකයන්ට. ඔවුන් සතුටු වෙන නිර්මාණයකට සම්බන්ධ වුණාම ඒ ගැන අපිටත් පොඩි නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
පාඨලීගේ චරිතය කොහොමද ඔබට ලැබෙන්නේ?
“හාරකෝටිය” ටෙලිනාට්‍යය තමයි මම මුලින්ම සම්බන්ධ වුණු දීර්ඝ ටෙලිනාට්‍ය. ඒ පිටපත රචනා කරන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයා. අධ්‍යක්ෂණය කරන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා. ඒ වගේම එය නිෂ්පාදනය කරන්නේ චාමර සමරවික්‍රම මහත්මයා. ස්වර්ණවාහිනී නාළිකාව හරහා තමයි එය විකාශය වෙන්නේ.
2020දී මම කලාවෙන් ටිකක් ඈත් වෙලා හිටියා. ලොකුවට කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. කොරෝනා වසංගතය නිසා කොහොමත් රංගන ශිල්පීන්ට නිර්මාණවලට සක්‍රීයව සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.
මම 2021දී නැවත මගේ කලා ජීවිතය හොඳ ගැම්මකින් පටන් ගන්නවා කියලා කල්පනා කර කර ඉන්නකොට නාඩගම්කාරයෝ නිර්මාණයට නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයා ආරාධනා කරනවා. ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාත් මට ආරාධනා කළා. මම මීට කලින් හාරකෝටිය ටෙලි නිර්මාණයේදීත් මේ තුන්දෙනත් එක්ක වැඩ කරලා තියෙන නිසා මට ලොකු විශ්වාසයක් ආවා මේ නිර්මාණය හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා.
ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ දැන් ඉන්න අධ්‍යක්ෂ රංගන ද සිල්වා අයියාවත් මතක් කරන්න ඕනේ. ඔහු මට කිව්වේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පාඨලීව දැක්කම මිනිස්සුන්ට සිරිපැරකුම් චිත්‍රපටයේ නඟාව මතක් වෙන්න ඕන කියලා. නිර්මාණයට මට විශේෂයෙන් සූදානම් වෙන්න දෙයක් තිබුණෙ නැහැ. මේක සම්ප්‍රදායික ගැහැණු ළමයෙක්ගෙ චරිතයක්. වැඩි දෙයකට කියල තිබුණේ පාඨලී ටිකක් සරාට නපුරුයි. මම නිතරම හෙව්වේ වෙනස් චරිත. සාමාන්‍ය චරිතයක් මට ලැබුණාම මම දෙවතාවක් හිතනවා. මේ අවස්ථාව මට ලැබුණාම මට හිතුණා හොඳ දෙයක් කරන්න පුළුවන් කියලා.
2020 සෙනාලිට අවාසනාවන්ත වසරක් වුණා නේද?
ඔව්. ජීවිතේ නොහිතපු විදිහට වෙනස් වෙච්ච, වෙනස් කරපු ඒ වගේම මට පාඩම් ගොඩක් උගන්වපු අවුරුද්දක් තමයි 2020 කියන්නේ. මගේ තාත්තා එංගලන්තයේදී නැති වුණා කොරෝනා වසංගතයට ගොදුරු වෙලා. ඒ නිසා 2020 කියන්නේ මගේ ජීවිතයේ අවාසනාවන්ත අවුරුද්දක්. ඒ නිසාමයි මම කලා ජීවිතයෙනුත් ඈත් වුණේ. මම ගොඩක් වැටුණා තාත්තාගේ අහිමිවීමත් එක්ක.
හැමදාම වැටිලා ඉන්නත් බැහැනෙ. මම තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මේක තමයි. ඉපදුණොත් මැරෙනවා. නොහිතන වෙලාවල්වලදී ජීවිතයේ දේවල් සිද්ධ වෙනවා. ඒ පාඩම් එක්ක ඉස්සර සමාජයට මූණ දීපු විදිහට නෙමෙයි දැන් මම සමාජය ඉස්සරහට යන්නේ. ඉස්සර නම් මොනදේ වුණත් තාත්තා ඉන්නවා. දැන් මම අම්මා එක්ක තනියම ජීවිතේට මූණදෙන්න ඕනේ. එන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ඕනේ මමමයි. ඉස්සර උත්තර හොයලා දෙන්න තාත්තා හිටියා. මම හැමදාම වැටිල හිටියොත් ජීවත් වෙන්න බැහැනේ. ඒ නිසා හිටියාට වඩා මම ශක්තිමත් වෙන්න ඕනේ කියලා මම තේරුම් ගත්තා. ඉගෙන ගත්තා. ඒ නිසා 2021 අවුරුද්ද මගේ ජීවිතයේ හොඳම අවුරුද්ද කරගන්නවා කියන බලාපොරොත්තුවෙන් වැඩ පටන්ගත්තා.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
මේ දවස්වල නම් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ නාඩගම්කාරියක් වෙලා තමයි ජීවත් වෙන්නේ.