අඟුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ පිළිස්සී මියගොස් සිටියදී හමුවූ අඹු-සැමි යුවළකගේ සිරුරු සම්බන්ධයෙන් වන මූලික සාක්ෂි විමසීම ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කර තිබෙනවා.
මෙම අඹු-සැමි යුවළ අතර දීර්ඝ කාලයක සිට ආරවුල් තිබී ඇති අතර මේ නිසා එකම ඉඩමේ සැමියා වෙනමත් බිරිය වෙනමත් ජීවත්ව සිටි බව එහිදී අනාවරණය වුණා.
බිරිය වෙනම ජීවත්ව සිටිය ද ඇය පැවරූ නඩත්තු නඩුවකින් පසු සැමියා ඇයට මාසිකව රුපියල් 12,000ක මුදලක් ලබාදෙමින් සිට ඇති අතර මෙම නඩත්තු මුදල මදි යැයි බිරිය යළි ගම්පොළ පොලිසියට පැමිණිලි කොට තිබූ බව සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා.
මේ අතර සැමියා කාටත් හොර රහසේ තමන්ගේ නිවෙස තුළදී ලිපියක් ලියා පෙට්‍රල් කෑන් එකක්ද රැගෙන දියණියගේ නිවෙසට පහළින් ඇති බිරියගේ නිවෙස වෙත ගොස් තිබෙනවා.
පෙට්‍රල් කෑන් එක රැගෙන සීයා ආච්චිගේ නිවෙස දෙසට යන අයුරු ඔවුන්ගේ මුනුබුරා වන මධුෂාන් අබේරත්නද දැක ඇති අතර ටික වේලාවකින් “අයියෝ ගහන්න එපා. ගහන්න එපා” යැයි ආච්චි කෑ ගසන හඬද මුනුබුරාට ඇසී තිබෙනවා.
ඔහු රැගෙන ආ තියුණු පිහිය බිරිය වන චාන්දනීගේ හිස දෙසට පහත් වූයේ ඇගේ නිවෙසේ කඩුල්ලෙන් පිටදීය. ඉන්පසු ලේ විලක් මැද ඇද වැටුණු චාන්දනීගේ සිරුර ඔහු ඇගේ නිවෙස තුළට ඇදගෙන ගොස් කාමරයක් තුළට දමා තිබෙනවා.
අනතුරුව ගෙනැවිත් තිබූ පෙට්‍රල් ඇයගේ සිරුරටත් ඔහුගේ සිරුරටත් හලාගෙන ඇති අතර එම පෙට්‍රල් නිවෙස පුරා ගලද්දී මදනායක එයට ගිනි ඇවුළුවා තිබුණා.
මේ සියල්ල මුනුබුරා වන මධුෂාන් දැක ඇති අතර ඉතා කෙටි වේලාවකදී වූ මේ දේ ගැන තම මවුපියන්ටත් ඥාතීන්ටත් දන්වා අනතුරුව මේ බව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දන්වා තිබෙනවා.