සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගේය පද රචකයකු හා සාහිත්‍යවේදියකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න තමා බව අඟවමින් නවතම චිත්‍රපටයක් සඳහා තරුණ නිළියන්ට මහ රෑ දුරකථන ඇමැතුම් දෙන පුද්ගලයකු සම්බන්ධයෙන් ඉකුත් 2019 වසරේ මිරිහාන පොලිසිය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට මෙතෙක් විමර්ශනයක් සිදුකර නැතැයි වාර්තා වනවා.
2019 මාර්තු 13 වැනිදා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් මිරිහාන පොලිසිය වෙත කරනු ලබන 243/162/C 23 දරන මෙම පැමිණිල්ල මෙතෙක් විමර්ශනය නොකිරීම නිසා සුනිල් ආරියරත්න නමින් පෙනී සිටින පුද්ගලයා සිය රඟපෑම දිගින් දිගටම සිදුකරගෙන යන බවයි පැවසෙන්නේ.
අදාළ පුද්ගලයා දුරකථන අංක තුනක් භාවිත කරමින් නවතම චිත්‍රපටයක් සඳහා නිළියන් ගන්නා බවත් ඊට සරිලන මුදලක් මෙන්ම විශ්‍රාම වැටුපක්ද ලබා දෙන බව කියමින් එම තරුණියන්ගේ පින්තූර ගෙන්වා ගැනීමෙන් පසු වට්ස්ඇප් මාර්ගයෙන් එම තරුණියන් ඉන්ටර්වීව් කරන බවත් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පොලිසිය හමුවේ පැමිණිලි කර තිබුණා.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කළ පුවත්පතකට සඳහන් කර ඇත්තේ තමාගේ නම විකුණමින් නිදැල්ලේ හැසිරෙන මෙම පුද්ගලයාට එරෙහිව දැමූ පැමිණිල්ල විමර්ශනය නොකිරීම නිසා නැවත පොලිසියට පැමිණිල්ලක් දැමීමට බලාපොරොත්තු වන බවයි.