සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනාධිපතිවරයා අතින් කාන්තාවකට රෝපණය කිරීමට ලබා දුන්නැයි පවසමින් වළ දැමූ ඇට වර්ගයක් පිළිබඳව සැක සිතූ අසල්වැසි ඉඩම් හිමිකාරිය එම වළ දමා තිබූ ඇට වර්ගය පරීක්ෂා කිරීමේදී ඒ සියල්ල හූනියම් කරන ලද බෝතල් කුප්පි හා ඔතන ලද ගුළි බව දැන ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කිරීමේ සිද්ධියක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගුප්ත ශාස්ත්‍රය අනුව එසේ මන්ත්‍ර කර වළ දමා තිබූ බෝතල් කුප්පි 16ක් හා නූල් වර්ග ඔතන ලද ගුළි 16ක් ගොඩගත් බව පැමිණිල්ලේ සඳහන් වෙයි. එමෙන් ම, මතුරන ලද පුහුල් ගෙඩියක් ද සොයා ගත් බව සඳහන්ය.
අදාළ සිද්ධියට චෝදනා ලැබූ කාන්තාව අල්ලපු ඉඩමේ හිමිකාරිය සමග දීර්ඝ කාලයක් ආරවුලක් ඇති කර ගෙන ඇත්තේ එම ඉඩම තමාට හිමි බව පවසමිනි.
නමුත් ඒ සඳහා මෙම තැනැත්තියට හිමිකම් කීමට කිසිදු ලියවිල්ලක් ද නොමැති අතර, මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවා එම ගැටලුව නිරාකරණය කරදී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.
නමුත් මෙම තැනැත්තිය ද පරාජය භාර නොගෙන අවසානයේ අල්ලපු ඉඩම් හිමිකාරිය ඇතුළු පවුලේ සැමදෙනා විනාශ කිරීමේ අරමුණින් මෙම ගුප්ත ශාස්ත්‍රයට යොමුවී ඔවුන්ට හූනියම් කිරීමට පෙලඹී ඇත.
පිරිමි දෙදෙනකු සමග මෙම කාන්තාව ඒවා වළලමින් සිටියදී ඒ පිළිබඳව සැක සිතූ ඉඩම් හිමිකාරිය ඒ පිළිබඳව විමසීමේදී පවසා ඇත්තේ තමා රජයේ සුවිශේෂ නිලයක් දරන කාන්තාවක් බැවින් ජනාධිපතිවරයා තමන්ට ලබා දුන් ඇට වර්ගයක් මෙසේ පැළ කරන බවයි. කෙසේ වෙතත්, ඒ පිළිබඳව සැක සිතූ ඉඩම් හිමිකාරිය ඒවා ගොඩ ගැනීමට ඔවුන් ඉදිරියේම ක්‍රියා කිරීමේදී ජීවම් කරන ලද බෝතල් කුප්පි හමුවී ඇත.
එහිදී මන්ත්‍රකරුවන් දෙදෙනා ඇතුළු චෝදනාලත් තැනැත්තිය පැන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් අරඹා ඇත.
- මව්බිම