දෙමනගම්මන ප‍්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියකුට කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ වෙත තොරතුරු ලැබෙන විට එම නිලධාරියා බස් රථයකින් පැමිණ ත‍්‍රිරෝද රථයකින් නිවෙසට ගොස් සිටි බව පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත ජේලර්වරයා පැමිණි බස් රථයේ ඔහු ආසන්නයේ සිටි මගීන් සොයා ගැනීමට මහජන සහය අවශ්‍ය වී ඇතැයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනීය පවසනවා.
මොහු මහරගම ඩිපෝවට අයත් පල්ලෙබැද්ද කොළඹ ගමන් කරන ඩබ්ලිව්.පී.එන්.බී. 9182 දරන ලංගම බස් රථයෙන් 1 වැනිදා සවස තුනට පමණ ඇහැලියගොඩ සිට ලෙල්ලොපිටිය, ගෝනකුඹුර මංසන්ධිය දක්වා පැමිණ ඇතැයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් තොරතුරු සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ආසාදිත බන්ධනාගාර නිලධාරියා රියැදුරු ආසනයේ පැත්තේ සිට තුන් වන ආසනයේ ජනේලය ආසන්නයේ වාඩි වී පැමිණ ඇතැයි ද පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
මෙම බස් රථයේ ආසාදිතයා සිටි අසුනට ආසන්න ආසනයක වාඩිවී පැමිණියේ නම් හෝ මෙම බස් රථයේ මෙදින පස්වරුවේ පැමිණි අයකු වේ නම් වහාම ළගම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය ඉල්ලීමක් කරයි.