ඇඳිරි නීතිය බල පැවැත්වෙද්දී සිය රාජකාරි හැඳුනුම්පත යොදා ගෙන හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් රැගෙන මෝටර් රථයක යමින් සිටි පොලිස් සැරයන්වරයකු බණ්ඩාරගම පොලිසිය මගින් පෙරේදා රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් සැරයන්වරයා සමග සිටි කරවලයා නමින් ප‍්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනකු ද ඔවුන් ගමන් ගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගැනුණා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දකුණු පළාතේ ගාල්ල, මිරිස්ස, වැලිගම, කළුතර, හබරාදුව, මිදිගම ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට හෙරොයින් බෙදා හරින සංවිධානාත්මක කණ්ඩායමක් බව පොලිසිය පවසනවා.
සැකකාර පොලිස් සැරයන්වරයා දීර්ඝ කාලයක සිට මෙම හෙරොයින් ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් හෙරොයින් ප‍්‍රවාහනයට ද උපකාර කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.
පොලිස් සංචාරක පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම සැරයන්වරයා සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ගැලණිගම – පානදුර මාර්ගයේ මෝටර් රථයක යමින් සිටියදීයි.
ඇඳිරිනීතිය පනවා තිබියදී ධාවනය වූ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී සැකකරු බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට තම රාජකාරි හැඳුනුම්පත පෙන්වා පලා යෑමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන විමර්ශන පැවැත්වීමේදී මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් බව හෙළි වූ බව පොලිස් ආරංචි මාර්ග පැවසුවා.