සිනමාව සහ ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් රුවංගි රත්නායක රුවින් වගේම විලාසිතාවන්ගෙන් ප්‍රේක්ෂකාගාරය තුළ නිරතුරුවම පුවත් මවන්නියක්. පුවත් මවපු, කතාබහට ලක්වුණු ඉහළ ජනප්‍රියත්වයක් ලබපු රුවංගි පසුගිය කාලවකවානුව තුළම ක්ෂේත්‍රයේ දකින්නට ලැබුණේ නැහැ. කොහොම වුණත් බොහෝ කාලෙකට පස්සේ ඔන්න ආයෙම රුවංගිගේ රුව පුංචි තිරයට ඇවිත්.
ඉතින් රුවංගි පුවත්පතක් සමග සොදුරු කතාබහකට එක්වුණේ මෙහෙමයි.
රුවංගි කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතාම සතුටින් ගතවෙනවා. ඉස්සර වගේ කලා කටයුතු එක්ක කාර්යබහුල නැති නිසා හරිම සැහැල්ලුවක් දැනෙනවා.
කොහෙද මෙච්චර කල් රුවංගි අතුරුදන් වෙලා හිටියේ?
විවාහවීමත් එක්ක මම අවුරුද්දක් විතර කලා කටයුතුවලට දායක වුණේම නැහැ. කලාවෙන් ඈත් වෙලා පවුලට මුල් තැන දුන්නා. ඇත්තම කියනව නම් රංගනයෙන් ඈත් වෙන්න පෞද්ගලික හේතු කාරණාත් තිබුණා.
නිහඬව ඉඳලා නෑනලාගෙන්ම කරලියට එන්න විශේෂ හේතුවක් තිබුණද?
වැඩ නොකර ඉන්නවාමයි කියලා කලාවෙන් ඈත් වුණේ නැහැ. පසුගිය කාලය පුරාවටම මට රඟපාන්න කැමැති විදිහේ චරිතයක් ලැබුණෙත් නැහැ. හැබැයි මට හරියට ආරාධනා නම් ලැබුණා. ඔහොම ඉන්නකොට තමයි නාලන් මෙන්ඩිස් මහත්මයා නෑනලා ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ. එතුමා සමග මම මීට පෙර වැඩ කරලා තිබුණා. ඔහුගේ වැඩක් නම් ආයේ ඒ චරිතය ගැන හිතන්න දෙයක් මට තිබුණේ නැහැ. ඉඳලා ඉඳලා එතුමාගේ ආරාධනාවක් ලැබුණම ඉතාම සතුටින් බාරගත්තා.
සැබෑ ජීවිතෙත් රුවංගි පවුලට හොඳ නෑනා කෙනෙක් ද?
නෑනා කෙනෙකුට වඩා මගේ පවුලේ සහ සැමියාගේ පවුලේ අයට මම හරිම ළෙංගතුයි. ඒක නෑනාට එහා ගිය සහෝදර බැඳීමක්.
ඔබේ චරිතේ ගැනත් අපි කතා කරමු?
නෑනලා හත් දෙනෙක් ඉන්නවා. ඉන් “චරිතා” කියන චරිතයට තමයි මම පණ දෙන්නේ. සමාජයේ අද කාලේ ඉන්න නෑනලා අතර තියෙන ලක්ෂණ මේ චරිත තුළ ගැබ්වෙලා තියෙනවා. කොහොම වුණත් කාලෙකට පස්සේ ප්‍රේක්ෂකයෝ ඉතාම ආසාවෙන් බලන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබගෙන ටෙලියක් විදිහට “නෑනලා” රූපවාහිනියේ දිගහැරෙනවා. “නෑනලා” ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් අරගෙන තාම සුළු කාලයක් වුණත් හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “නෑනලා” නාලන් මෙන්ඩිස් මහත්මයාගේ “දූදරුවෝ” වගේම ලස්සන නිර්මාණයක් කියලා බොහෝ ප්‍රේක්ෂකයෝ කියනවා.
ඉතින් රුවංගි හොරෙන්ම විවාහ ගිවිසගත්තා. තාම උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඇත්තටම කාටවත් නොකියා පවුලේ අය විතරක් එකතු කරගෙන විවාහ ගිවිසගත්තේ මාස 6කින් විතර වෙඩින් එකක් ගන්න බලාපොරොත්තුවෙන්. ලොකුවට හැමෝටම කියලා වෙඩින් එකක් ගන්න අදහස මගේ හිතේ තිබුණ නිසා විවාහ ගිවිස ගැනීම ගංගාරාම පන්සලේ චාම්ව සිදුකළා.
ක්ෂේත්‍රයෙන් පිට කෙනෙකුට රුවංගිගේ හිත ගියේ කොහොමද? ආදර කතාවත් කියමු?
ක්ෂේත්‍රයේ කෙනෙක්ම නම් විවාහ කරගන්න මට කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. නිර්මල ගමගේ. නිර්මලව මට මුලින්ම මුණ ගැහෙන්නේ උත්සව අවස්ථාවක දී. අපි හොඳ යාළුවෝ විදිහට ටික කාලයක් ඇසුරු කරද්දී දන්නෙම නැතුව ඒක ආදර සම්බන්ධතාවකට පෙරලුණා. අවුරුදු හතරක් අපි ආදරය කරලා තමයි විවාහ වුණේ.
සැමියා ව්‍යාපාරිකයෙක් නිසා ඉදිරියේ දී රුවංගිටත් ව්‍යාපාර පැත්තට යොමුවෙන්න වේවිද?
නිර්මල මට කවදාවක් කලා කටයුතුවලට යන්න එපා කියලා නැහැ. නිර්මාණ තෝරා බේරාගෙන පවුල් ජීවිතයට අවහිරයක් බාධාවක් නොවන විදිහට කලා කටයුතු කරගන්න අවසරය මට දීලා තියෙනවා. මොනවා කළරත් දැන් විවාහක කාන්තාවක් විදිහට තනිකඩ කාලේ වගේ තීන්දු තීරණ ගන්න බෑනේ. මුල්තැන දෙන්නේ පවුල් ජීවිතයට තමයි. පොඩි පොඩි සීමාවල් ටිකක් තියෙනවා. මට හැකි උපරිමයෙන් ඔහුගේ ව්‍යාපාර වැඩවලට උදව් කරනවා.
සීමාවන් එක්ක කලා ජීවිතේ ජනප්‍රියත්වය රඳවගන්න පුළුවන් වේවි කියලා හිතනවාද?
මම අවුරුද්දක් වැඩ කළේ නැහැ. ජනප්‍රියත්වය අඩු වෙනව නම් දැන් මාව මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ඕනෑ. මටත් හිතුණා මුල් කාලෙදි ජනප්‍රියත්වය දැන් අඩුවෙලා යාවි කියලා. ඒත් රූපවාහිනියේ පේන්න හිටියේ නැතත් ඇයි පේන්න නැත්තේ කියලා හරි ප්‍රේක්ෂකයෝ මගෙන් අහනවා. ඒකත් මට සතුටක්. ඒ නිසා සීමාවන් තුළ ඉඳගෙන වැඩ කිරීම ජනප්‍රියත්වයට බාධාක් වේවි කියලා මම හිතන්නේ නැහැ.
ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්න කාලේ සද්ද බද්දයක් නැතුවම පිළිවෙළක් වෙන්න හිතුවේ ඇයි?
සද්ද බද්ද කරලා පිළිවෙළක් වෙන්න හිටියා නම් තාම මං තනිකඩයි.
ඊළඟ බලාපොරොත්තුව?
මවක් වීම තමයි.
උපුටාගැනීම – සාරවිට