වේදිකා නාට්‍ය කලාවේ දැවැන්ත චරිතයක් වූ අනුලා බුලත්සිංහලයන් අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇයගේ සැමියා වන ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහලයන් පවසා සිටිනවා. ඇය මිය යන විට 73 වියේපසු වූ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ අභාවප්‍රාප්ත වුණා.
ඇයගේ අවසන් කටයුතු හෙට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
වේදිකා නාට්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදු කල ඇය ගැන බුද්ධදාස ගලප්පත්ති ශූරීන් විසින් කලකට පෙර ලියූ සටහනකි මේ.
උපුටා ගැනීම
” සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයෙහි, රංග භූමිය ගායනයෙන්, නර්තනයෙන්, හා අභිනයෙන් වර්ණවත් කළ වනිතා චරිත ඇත්තේ ස්වල්පයකි. ඒ චරිත අතර පේ‍්‍රක්ෂකයන්ගේ මෙන්ම ශ‍්‍රාවකයන්ගේ ද මතකයෙන් ඈත් නොවන, ඔවුන්ගේ හදවත් ආදරයෙන් වැලඳ ගත්තා වූ චරිතයක් පිළිබඳ අතීතාවර්ජනයකට පිවිසෙන්නට සිත් වූයේ ඇගේ මියුරු ගායනා වරින්වර අපගේ මතක ලොවට පැමිණ හැත්තෑව දශකයේ බිහි වූ වේදිකා නාට්‍යයේ ස්වර්ණමය යුගයට අප කැඳවා ගෙන ගිය බැවිනි. අනුලා මෙන්ඩිස්, විවාහයෙන් පසුව අනුලා බුලත්සිංහල බවට පත්වන ඕ, තම රංගන චාරිකාව අරඹන්නී හැටේ දශකයේ අග භාගයේ වූවත්, ඈ ගායනයෙන් හා රංගනයෙන් පේ‍්‍රක්ෂක සිත් වසඟ කර ගන්නී හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට බව, නාට්‍ය වංශ කතාවෙහි අනුලා බුලත්සිංහල නමින් ලියැවී ඇති පරිච්ඡේදයේ සඳහන්ය.
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ රැකියාව කළ සමයේ එහිම සේවය කළ තවත් නාට්‍යකරුවකගේ නිර්මාණයකින් ඈ කරළියට එන්නීය. නාට්‍යකරුවා පසු කලෙක සිංහල වේදිකා නාට්‍ය කඩඉම් නාට්‍ය රැසක්ම නිෂ්පාදනය කළ ආර්. ආර්. සමරකෝන් වන්නේය. ඔහු සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස කලාකවය වෙනුවෙන් නිර්මාණය කළ ලෙඩක් නැති ලෙඩෙක් (1967* ඇගේ ප‍්‍රථම රංගනය වීය. විසි හැවිරිදි වියේදී රංගනයෙන් හා ගායනයෙන් පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණෙන අනුලා එදා මෙදා තුර සිංහල වේදිකා නාට්‍යයෙහි දැවන්තයන් රැසකගේ නිෂ්පාදන කිහිපයකම රඟපාමින් අනුලා බුලත්සිංහල මුද්‍රාව තබන්නී, ඇගේ මධුර හඬින් ගායනා වුණු වේදිකා නාට්‍ය ගීත කීපයක්ම පේ‍්‍රක්ෂක අප හදවත්හි සුන්දර, චමත්කාරජනක මතක බවට පත් කරමිනි.
ආර්. ආර්. සමරකෝන්ගේ ලෙඩක් නැති ලෙඩෙක් හා චරිත දෙකක් නාට්‍ය ද්වයෙහි රැඟූ අනුලා මෙන්ඩිස් පේ‍්‍රමරංජිත් තිලකරත්නගේ නාට්‍ය ත‍්‍රිත්වයකම රඟපාන්නී 1969 වර්ෂයේදීම වීම ඇගේ රංගන චාරිකාව ඇරැඹුමෙහිම ඈ ලද දුලබ වාසනාවක් නොවන්නේ ද? සිංහල නාට්‍ය නිෂ්පාදක නාමාවලියෙහි ප‍්‍රබල චරිතයක් වෙමින් නාට්‍ය උලෙළ (1964* සම්මාන ද ලැබූ පේ‍්‍රමරංජිත් තිලකරත්නගේ වහලක් නැති ගෙයක්, (දෙවන නිෂ්පාදනය* මුහුණු සයකි රූකඩයකි හා කෝන්තරේ යන නාට්‍ය ත‍්‍රිත්වයෙහිම අනුලාගේ රංගනයෙහි හැඩරුව ප‍්‍රකට විණ. අනුලා මෙන්ඩිස් නම් වූ යෞවනියගේ රංගනය මෙන්ම ගායන කුසලතාව ද ප‍්‍රතීයමාන වන්නේ 1969 ඔක්තෝබරයේ දී ඈ විසින් ප‍්‍රවීණ නාට්‍යකරු හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයේ දෙවන නිෂ්පාදනයේ (මානෙල් ජයසේන හා සැන්ටින් ගුණවර්ධන නිෂ්පාදනය* කුවේණියගේ චරිතයට පිවිසීමත් සමගය. සිංහල වේදිකා නාට්‍යාවලියෙහි සදා ස්මරණීය වනිතා චරිත අතර (මනමේ බිසව, සුප්පාදේවී, ගෲෂා* කුවේණියට හිමිවන්නේ කීර්තිමත් ස්ථානයකි. අප අදත් රස විඳින කුවේණියගේ ගීතයෙන් ඒ බැව් සනාථ වේ.
අනුලා මෙන්ඩිස් රංගනය මතු නොව ගායනයෙහි ද හපනියක බව කුවේණි නාට්‍යයෙන් ඔප්පු කර සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙසද 1974 දී අනුලා බුලත්සිංහල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍යයක ප‍්‍රධාන නිළි භූමිකාවකට ඇරයුම් ලබන්නී? ආර්. ආර්. සමරකෝන්, පේ‍්‍රමරංජිත් තිලකරත්න, හෙන්රි ජයසේන ආදීන්ගෙන් පසුව මහා නාට්‍යකරු සරච්චන්ද්‍රගේ නිෂ්පාදනයක? මේ නම් කුමන ආශ්චර්යයක් දැයි, එදවස මහාසාර නාටකයෙහි දෙවන නිෂ්පාදනය නැරඹූ පේ‍්‍රක්ෂකයන්ට සිතුණාට කිසිදු සැකයක් නොමැත.
කුවේණි නාටකයේ කුවේණි මෙන්ම මහාසාර නාටකයෙහි දෙවන නිෂ්පාදනයෙහි (1974* බිසවගේ චරිතයට පිවිසෙමින් අනුලා බුලත්සිංහල විසින් එක් කළ විචිත‍්‍රත්වය අපූරුය. ධම්ම ජාගොඩගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසගේ නිර්මාණශීලී නව සංගීත රටාවන්ගෙන් ද පොහොසත් වූ මහාසාර නාටකය නාට්‍යමය ගුණයෙන් අනූන අපූරු ප‍්‍රහසනාත්මක නිෂ්පාදනයක් වීය. එවකට වේදිකාවේ ප‍්‍රබලයන් වූ විජේරත්න වරකාගොඩ, විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙණිය, ජයශ‍්‍රී චන්ද්‍රජිත්, ජයසේකර අපොන්සු, අමරසේන පීරිස්, ඉන්ද්‍රා රාමනායක, අනුර ෆොන්සේකා, කරුණාරත්න හඟවත්ත, දන්තුරේ බණ්ඩාර ආදීන්ගේ රංගන සමග අනුලා බුලත්සිංහලගේ රංගනය කැපී පෙනුණේ, රංගනයේ ද ගායනයේ ද, නර්තනයේ ද අනුලා තුළින් මතු වූ නැවුම් රඟ සොබා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගත් බැවින් බව විචාරක මතය වීය.
මහාචාර්ය සරච්චන්ද්‍රගේ භාෂාවෙහි යටි පෙළෙහි වූ උපහාසාත්මක ස්වරය, මතුකරලීමට අනුලාගේ ගායනය මෙන්ම නර්තන ලීලා ද භාවිත කරන්නී ශෛලිගත සම්ප‍්‍රදායේ නිළි භූමිකාවට අත්‍යවශ්‍ය ගායනය, රංගනය (අභිනය* නර්තනය මනාව සම්මිශ‍්‍රණය කර ගනිමිනි.
අනුලා බුලත්සිංහල රංගවේදිණියගේ ගායන හා රංගන ලීලාවන්හි කූටප‍්‍රාප්ත මොහොත උදාවන්නේ 1974 වර්ෂයේ සිංහල නාට්‍ය උත්සවයේ දී රඟ දැක්වුණු රතුහැට්ටකාරී නාට්‍යය සමගය. ඈ සිංහල වේදිකාව ලද මාහැඟි දායාදයක් බව ඈ පේ‍්‍රක්ෂකයන් මුසපත් කරමින් ඔප්පු කොට සිටියාය. එම උළෙල අවසන හොඳම නිළි සම්මානය ප‍්‍රදානය කරනු වෙනුවට උසස් රඟපෑම සඳහා වූ කුසලතා සහතිකයකට (සුනේත‍්‍රා හා මර්සි සමග* අනුලාගේ රංගනය ලඝු කිරීම නාට්‍ය උලෙළ ඉතිහාසයේ අපකීර්තිමත් විනිශ්චයන් අතරට එක් වූ තවත් මොහොතක් ලෙස බොහෝ දෙනා දුටහ. නිසැක වශයෙන්ම අනුලා බුලත්සිංහල රතුහැට්ටකාරී ලෙස නාට්‍යෝචිත, මධුර ගීත ගායන ද සහිත ප‍්‍රබල චරිත නිරූපණයක නිරත වූවාය. එහෙත් ඇගේ ගායනයෙහි හෝ රංගනයෙහි පරාසය හඳුනා නොගත් විනිශ්චය මණ්ඩලය සම්මානය වෙනුවට සහතිකයක් දීමෙන් සෑහීමට පත් වූ අන්දම අනුලා වැන්නියකට කළ අසාධාරණයක් ලෙස සිහි කළ හැකිය. ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී රංග ක‍්‍රම ද්වයේම ලක්ෂණ අඩු වැඩි වශයෙන් භාවිත වූ නිෂ්පාදනයේ ප‍්‍රබල නිළි භූමිකාව ලෙස දුෂ්කර රංග කාර්යයකට උර දුන් අනුලා ඔස්ටින් මුණසිංහගේ අතිශය මධුර තනුවකට ලූෂන් බුලත්සිංහල රචනා කළ දීකිරි දීකිරි ගීතය මෙරට ප‍්‍රාසාංගික නාට්‍ය ගීතාවලියෙහි ඉහළම ස්ථානයක රැඳවූවාය. ලූෂන්ගේ පද සංකල්පනාවෙහි අර්ථපූර්ණ ගුණය මැනවින් හඳුනාගෙන රතුහැට්ටකාරී නම් සමාජ අසාධාරණයට ලක් වූ ස්ත‍්‍රිය වේදිකාව මත පණගන්වන්නට අනුලා සමත් වූවාය. දීකිරි ගීතය 1974 සිට අද දක්වාම පේ‍්‍රක්ෂක ශ‍්‍රාවක සිත් වසඟයට පත් කළ ගීතයක් වී, මිහිරි මතකයක් වී ඇත්තේ අනුලාගේ ගායනයෙහි මධුරතාව නිසාම බව කිව යුතු නොවේ.
අනුලාගේ රංගන ශෛලිය නම්‍යශීලීය. ගායනය මිහිරිය. මධුරය. ශෛලිගත සම්ප‍්‍රදායට වෙනස් වූ රංග ශෛලියක් හෝ ගායන ශෛලියක් ඉල්ලා සිටිනු ලබන මොහොතක ඈ ඊට අනුගතවන්නී ආයාසයකින් තොරවය. ශ‍්‍රී වික‍්‍රම නූර්තියෙහි ඇහැළෙපොල කුමාරිහාමිගේ වැළැපීම ඈ ගායනා කරන්නී දීකිරි ගායනයෙහි ගායන විලාසයට හාත්පසින්ම වෙනස් වූ ශෛලියකිනි. 1981 දී තාරාවෝ ඉගිලෙති රංගයේ ලොරීටා ලෙස රඟමින් ඈ තවත් අපූරු කඩඉමක් සටහන් කරන්නීය. තාරාවෝහි ලොරීටා චරිතය අනුලා එතෙක් රඟ පෑ සියලූ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් වූ නවීන කාන්තාවකගේ චරිත නිරූපණයකි. රෝම ජාතික නාට්‍යකරු ප්ලෝටස්ගේ මිනැක්මයි හෙවත් නිවුන් සොහොයුරෝ නාට්‍යයේ ආභාසය ලබමින් නිෂ්පාදනය වූ තාරාවෝහි ලොරීටා යනු සිංගප්පූරුවේ වෙසෙන ලාංකික කාන්තාවකි. විජය නම් තරුණයාගේ පෙම්වතියයි. තම පෙම්වතා යැයි එක හා සමාන තරුණයන් දෙදෙනකුට රැුවැටෙන ලොරීටාගේ සංකීර්ණ චරිතය නිරූපණය කරන අතරෙහිම, ඈ තම සුපුරුදු ගායනය ද අපූරුවට රංගනයට ඉවහල් කර ගන්නීය. තාත්වික ශෛලියේ වුව සංගීතමය නාට්‍යයක් වූ තාරාවෝහි ගුණදාස කපුගේ නිර්මාණය කළා වූ මිහිරි තනුවකට අනුලා ගායනා කළ මේ ගීතය නාට්‍යයෙන් බැහැරව වුව රස විඳීමට හැකි අපූරු ගීතයකි.
අනුලා බුලත්සිංහල සිංහල වේදිකාවේ අතිශය සුන්දර චරිත රැුසක් සඳහාම ගායනයෙන් හා රංගනයෙන් විශිෂ්ට සම්ප‍්‍රදානයක් එක් කළ රංගවේදිණියයි. දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකාවෙහි ජැක්සන් ඇන්තනි සමග නෙයිනගෙ සූදුව අංකය රඟමින් ඇගේ විස්මිත ගායන නර්තන ලීලා පේ‍්‍රක්ෂකයන්ට ළං කළ ජවනිකාව අනුලාගේ වෙනස්ම රංගයක හැඩ තල පෙන්වන්නකි.
වේදිකාව මතු නොව පුංචි තිරයෙහිද චිත‍්‍රපටයෙහි ද අපි අනුලා දකිමු. නිල් දිය යහන, භවත‍්‍රා, අසන්දිමිත්තා, ගෝල් වැනි චිත‍්‍රපට ඇගේ රංගන කුසලතා පෙන් වූ තවත් නිර්මාණ මාධ්‍යයකි. රංගනයේ විවිධ භූමිකා තුළ අපට හමුවන අනුලා බුලත්සිංහල ගායිකාවක් ලෙස ඇගේ අනන්‍යතාව සලකුණු කළ ගීත අතර වෙසෙසින්ම සඳහන් කළ යුතු ගීත කීපයක්ම මතකයට නැගේ, රඟහල දැන් ඇත අඩ අඳුරේ (විජේරත්න වරකාගොඩ සමග) පන්සල පාමුල (ගුණදාස කපුගේ සමග) බුදුන් වඳින මේ දෑතින් (ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග), සුදු ඔසරිය ඇඳලා, ඉන් කිහිපයක් පමණි.
අනුලා බුලත්සිංහල නම් සුන්දර හදැත්තියගේ රංගන ගායන විසිතුර මෙවන් කෙටි සටහනකට සීමා කළ නොහැක්කකි. ඈ සතු බහුවිධ නිර්මාණ කුසලතා සතු වෙනත් නිළියක් සොයාගැනීම අසීරුය. ඈ දුර්ලභ මල් පිපුණු මල් උයනක සුපිපි සුවඳැති කුසුමක් වැන්න. ඒ සුවඳට සුවහසක් රසික ජනයා ආදරය කරන බව ඈ දන්නවාදැයි නොදනිමු. එහෙත් ඇයට ආදරය කරන විසාල රසික සමාජයක් සිටින බව ඉඳුරාම පැවසිය හැකිය.
බුද්ධදාස ගලප්පත්ති
උපුටා ගැනීම අවසන්