ඔහු දිගටම සටන් කළේය. සටන අත නොහැර රැඳී සිටියේය. එහෙත් අන්තයේ දී ඔහු ඉක්මවන්ට මරණය සමත් විය. එනමුදු ඔහු සමුගෙන ගියේ පරාජිතයකු ලෙස නොව ජයග්‍රාහකයකු ලෙසය. ලක්ෂ සංඛ්‍යාත හදවත් තුළ නොමැකී යන සටහන් තැබූ යුගයේ විශිෂ්ටයකු ලෙසය.
බොලිවුඩ්, හොලිවුඩ් හා බ්‍රිතාන්‍ය සිනමාවේ කැපීපෙනෙන නළුවකු වූ ඉර්ෆාන් ඛාන් මේ ලොව හැර ගිය බව අපට දැනගන්නට ලැබුණේ පසුගිය බදාදාය. අවිවාදිතව ඉන්දියානු සිනමාවේ බිහි වූ අතිවිශිෂ්ට නළුවන්ගෙන් එක් අයකු ලෙස සැලකුණු ඉර්ෆාන් වසර තිහක් පමණ කාලයක් මුළුල්ලේ විහිදී ගිය සිනමා චාරිකාවකට හිමිකම් කීවේය.
ඉන්දියාවේ පුරවැසියකුට හිමිවන හතරවැනි උසස්ම සම්මානය වූ පද්ම ශ්‍රී සම්මානයෙන්ද පුද ලද ඉර්ෆාන් දිනාගත් සිනමා සම්මාන රාශියකි. සාහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් උපන්නේ නවසිය හැටහතේ ජනවාරියේය. රාජස්ථානයේ ජායිපුරය ආසන්න ප්රදේශයකය. ඇතැම් තැනක අප කියවා ඇත්තේ එය රාජකීය උරුමයකට උරුමකම් කී පතාන් මුස්ලිම් පවුලක් වූ බවය.
විටෙක ඔහුට පවසා තිබුණේ කිසිවක් සැලසුමකට සිදු නොකළ ඒවා බවය. එහෙත් යම් කටයුත්තකට පය තැබූ කළ එය සියයට සියයක පරිපූර්ණත්වයෙන් ඉටුකිරීමේ උමතුවක් ඔහු සතු විය. තරුණ ඉර්ෆාන් විසි හැවිරිදි වියේ පසුවෙද්දී ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් දක්ෂතා පෙන්වීය.
ඉන්දියානු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ මුල්ම අඩිතාලම ලෙස සැලකෙන CK නයුදු 23න් පහළ නැඟීඑන ක්‍රීඩකයන්ගේ තරගාවලියට ක්‍රීඩා කරන්නටද ඔහුට අවස්ථාව උදාවිය. එහෙත් එතැනින් එහාට පන්දුවත් පිත්තත් සමඟ යන ගමන අතහැරි ඉර්ෆාන් තම අධ්‍යයන කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළේය. 1984දී තම එම්.ඒ. උපාධිය සම්පූර්ණ කළ හේ රඟපෑම
පිළිබඳ වැඩිපුර ඉගෙනුම පිණිස NSD (National School of Drama) හා එක්විය.
ඉන්දු – ඇමෙරිකානු සිනමාකාරිය මීරා නායිර්ගේ සලාම් බොම්බේ චිත්‍රපටයේ සුළු චරිතයකට ඔහු තෝරා ගැනුණේ NSD උගනිද්දීය.
එහෙත් ඔහුට ඒ වනවිට කැමරාව අමුතු දෙයක් නොවූයේ චානක්‍ය, භාරත් ඒක් කෝජ් ශ්‍රීකාන්ත් ආදී වශයෙන් වූ ටෙලිකතා මාලා රැසක රඟපාන්නට අවස්ථාව උදාවූ බැවිනි. අවාසනාවකට මෙන් සලාම් බොම්බේ හි ඔහුගේ චරිතය කතුරට හසු වූයේය.
ඇතැමෙක් පවසන්නේ ඔහුගේ උස ඊට හේතු වූ බවය. හේ අඩි හය පැන්නූ අමිතාබ් බච්චන් පන්නයේ නළුවකු විය.
අනූ ගණන්වල අග භාගය දක්වා ඔහු සිනමාපට කිහිපයකම කැපීපෙනෙන චරිත ගණනාවකට පණ දුන්නද ඒ කිසිවක් සිනමා ලෝකයේ ඇසට විශේෂයක් වශයෙන් හසු වූයේ නැත.
ලන්ඩනයේ ජීවත් වූ සිනමා අධ්යක්ෂ අසිෆ් කපාඩියා ඔහුගේ The Warrior චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ඉර්ෆාන් තෝරා ගත්තේ ඔහුගේ සිනමා ජීවිතයේ තීරණාත්මක සලකුණක් සටහන් කරමිනි. එහෙත් බොලිවුඩයේ ප්‍රධාන චරිතයකට පණ දෙන්නට ඔහුට 2005 වසර දක්වාම බලා ඉන්නට සිදුවිය.
ඒ Rog චිත්‍රපටයයි. එහිදී ඔහුගේ රඟපෑම ඉහළින් ඇගැයුණු අතර ඔහුගේ ඇස් කතා කරන වචනවලට වඩා ප්‍රබල වූ බව සිනමා විචාරකයන්ගේ අදහස විය. එතැන් පටන් ඔහුගේ කතාන්දරය අසල්වැසි රටේ ජීවත් වූ අපටත් ලොව පුරා සිනමා ලෝලීන්ටත් අමුතු එකක් නොවීය.
ඔහු මුල් වරට ෆිල්ම් ෆෙයාර් සම්මානයක් දිනා ගත්තේ 2004 වසරේ තිරගත වූ Haasil චිත්‍රපටයේ හොඳම දුෂ්ටයා වශයෙනි. තවත් කිහිපවතාවක්ම විවිධ සම්මාන උළෙලවලදී ඔහුගේ නම හොඳම දුෂ්ටයා වශයෙන් යෝජනා විය.
2007 වසර වෙද්දී තවත් විවිධ සම්මාන කිහිපයක්ම ඔහුට ලැබුණු අතර Life in a Metro චිත්‍රපටය වෙනුවෙන් ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේ හොඳම සහාය නළුවා වශයෙනි. ඒ වසරේම ජාත්‍යන්තර ඉන්දියානු සිනමා ඇකඩමි සම්මානය, ස්ක්‍රීන් සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම Life in a Metro වෙනුවෙන් දිනා ගන්නට ඔහු සමත් විය.
2008 වසරේදී හොඳම විකට නළුවා වශයෙන්ද සම්මානයක් දිනාගත් ඉර්ෆාන් 2013දී පළමුවරට හොඳම නළුවා වශයෙන් සම්මාන කිහිපයක් දිනා ගත්තේ 2013 Paan Sing Tomar චිත්‍රපටය වෙනුවනි.
The lunch box, quissa, thalwar, piku, Hindi mediumආදී චිත්‍රපට වෙනුවෙන් ඔහු අවස්ථා කිහිපයකදී හොඳම නළුවා සම්මානය දිනාගත්තේය. අනෙක් අතට ඇකඩමි සම්මානයෙන් ඇගැයෙන චිත්‍රපටි දෙකක රඟ පෑ එකම බොලිවුඩ් නළුවා ලෙසින්ද ඔහු හැඳින්වෙයි.
2008 ඇකඩමි සම්මානය දිනූ Slumdog Millionais මෙන්ම 2012 ඇකඩමි සම්මානය දිනූ life of pie චිත්‍රපටවලට ඉර්ෆාන් තම දායකත්වය සැපයීය. ඔහු අවසන් වතාවට දිනූ සම්මානය වන්නේ 2017 දී හොඳම නළුවා වශයෙන් හින්දි මීඩියම් වෙනුවෙන් දිනූ ෆිල්ම් ෆෙයාර් සම්මානයයි.
ඉර්ෆාන් ඛාන්ගේ චරිතය හා සම්බන්ධ ආගිය කතා බොහොමයකි. එකක් 2015දී තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටය වූ ජුරාසික් වර්ල්ඩ් සම්බන්ධයෙනි. එහි මස්රානි සංස්ථාවේ හා ජුරාසික් වර්ල්ඩ්හි අයිතිකරුවා වන සයිමන් මස්රානිගේ චරිතයට පණදෙන්නේ ඉර්ෆාන්ය.
එහෙත් කුඩා කොල්ලකුව සිටියදී Jurasic Park චිත්‍රපටය නරඹන්නට මුදල් අත නැතිව ආපසු හැරී ගිය කතාවක් ද වෙයි. වරක් ඔහු එය The HollyWood Reporter සඟරාවට ප්‍රකාශ කර තිබිණි.
“පළමුවැනි ජුරාසික් පාක් චිත්‍රපටය ආව වෙලාවේ මට ඒක බලන්න සල්ලි හොයාගන්න බැරි වුණා. ඒත් මං දැන් ඒකේ ප්‍රධාන චරිතයකට පණ දෙනවා”
බි්රතාන්ය සිනමාවේ මෙන්ම හොලිවුඩයේද නම තැබූ ඉර්ෆාන්ගේ අමුතු කතා එතැනින් අවසන් නොවේ. ක්‍රිස්ටෝපර් කෝලන්ගේ සිනමා පටයක් ප්‍රතික්ෂේප කිරීම, ජුලියා රොබට්ස් මුණගැසීමේ සිද්ධිය, ඇමෙරිකා ගුවන්තොටේදී ත්‍රස්තවාදියකු ලෙස වරදවා හඳුනා ගැනීම, තම නමට වැඩිපුර ‘ආර්’ අකුරක් (Irrfan) එක්කර ගැනීම ආදිය ගැන ඔහු සම්මුඛ සාකච්ඡාවලදී පැවසුවේ හැඟීම් වෑස්සෙන ඒ මුහුණින් යුතුවය.
NSD සහෝදර ශිෂ්‍යාවක මෙන්ම ලේඛිකාවක හා පිටපත් රචිකාවියක වන සුතාපා සික්දාර් ඔහුගේ ජීවන සහකාරියයි. බබිල් හා අයාන් දෙපුතුන්ය. ඔහු සැබෑ ජීවිතයේද ආදර්ශවත් චරිතයක් ගත කළ බව සුතාපා සිහි කරන්නීය.
ඔහු ඇතැම්විට චරිතයකට සූදානම් වන්නට කියැවීම්, අධ්‍යයනය කිරීම්, සටහන් පළකිරීම්, පිටපත් කියැවීම් ආදියෙහි පාන්දර තුන දක්වා නිරත වූ බව ඕ පවසන්නීය. හැම දෙයම ටක්කෙටම අවශ්‍ය වූ තැනැත්තකු ලෙස සැලකෙන ඉර්ෆාන් තම බිරිය ලියූ එක් තිර පිටපතක් එකොළොස් වතාවක් නැවත ලියවා ගත් බව අසන්නට ලැබේ.
2018 පෙබරවාරියේ ඔහු ගිලන් වූ අතර කටකතාවක් පැතිර ගියේ ඔහු මොළයේ පිළිකා තත්ත්වයකින් පෙළෙන බවය. එහෙත් මාධ්‍ය ඇමතූ ඔහු ඇත්ත තත්ත්වය පවසන්නට දින දහයක් ඉල්ලා ගත්තේ කටකතා පැතිර යෑම වළක්වනු පිණිසය.
2018 මාර්තු 16 වැනිදා තම ට්විටර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කළේ, තමා සිරුරේ විවිධ කොටස්වලට බලපෑ හැකි දුලබ පිළිකා තත්ත්වයකින් (neuroendocrine tumour) පෙළෙන බවය.
එහෙත් ඔහු සටන් කළේය. දෙවසරක් පුරා සටන් කළේය. අන්තයේදී පසුගිය බදාදා ධීරුවායි අම්බානි පෞද්ගලික රෝහලේදී සමුගෙන ගියේ ලොව ජය ගත්තකු වශයෙනි. මියයන විට 53 හැවිරිදිව සිටි ඉර්ෆාන් ඒ වයස මෙන් දෙතුන් ගුණයක් දස්කම් පෑ බව නොරහසකි. ඔහු යන්නට ගියේ සදාකාලික සිනමා වීරයකු වශයෙන් ලක්ෂ සංඛ්‍යාත හදවත් තුළ තම පණ නල රැඳෙණු පිණිස බෙදා හරිමිනි.
උපුටා ගැනීම – මව්බිම