Gossip

සමයංගේ මිනීමරුවන් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර බස්‌ රථ දෙකකට වෙඩි තබා පාතාලයේ “සමයං” ඇතුළු 07 දෙනකු ඝාතනය කළ පාතාල කල්ලියේ ප්‍රධානියා බව කියන “අංගොඩ ලොක්‌කා” සහ එම කල්ලියේ තවත් අයකු වන “ලඩියා” නමැති සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි පොලිසිය මඟින් ඊයේ (22 දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ව්‍යාජ විදෙස්‌ ගමන් බලපත්‍ර දෙකකින් වෙනත් රටකට පලා යැමට උත්සාහ කළ අවස්‌ථාවේ මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු පිරිසක්‌ පසුගිය පෙබරවාරි 27 වැනිදා පාතාලයේ අයකු බව කියන සමයං ඇතුළු ඔහුගේ කල්ලියේ සාමාජිකයන් පස්‌ දෙනකු කළුතර බන්ධනාගාර බස්‌ රථයකින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී එම බස්‌ රථය හරස්‌ කර නවතා වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළ බවට චෝදනා එල්ල වී ඇත. සමයං නමැත්තා ඇතුළු පාතාලයේ පස්‌ දෙනකු සහ ඔවුන්ගේ රැකවරණයට ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ඝාතනයට ලක්‌විණි.

එම ඝාතන සිදුකිරීමෙන් පසු මෙම “අංගොඩ ලොක්‌කා” සහ “ලඩියා” බෝට්‌ටු මගින් ඉන්දියාවට පලා ගොස්‌ එහි කාලයක්‌ ගත කර ව්‍යාජ විදෙස්‌ ගමන් බලපත්‍ර දෙකකින් වෙනත් රටකට පිටත් වීමට උත්සාහ කළ අවස්‌ථාවේ කොටු වී ඇතැයි පැවසේ. මෙම සැකකරුවන් ඉන්දියාවට පලා ගොස්‌ ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමට මෙරට පොලිසිය කටයුතු කර තිබිණි.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස මෙම සැකකරුවන් කොටු වී ඇති අතර, ඔවුන් මෙම ප්‍රහාරයේ සැලසුම්කරු බව කියන දෙවුන්දර “දනුෂ්” නමැති පාතාලයා සිටින ඩුබායි රටට පලා යැමට උත්සාහ දරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සමයං ඇතුළු 07 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට මේ වන විට කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත. එම ප්‍රහාරයේදී සමයං ඇතුළු පිරිස ගමන් ගත් බස්‌ රථයට වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුවන් එම බස්‌ රථයට ආරක්‌ෂාවට පැමිණි බස්‌ රථයටද වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර තිබිණි. එම බස්‌ රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදු වී නොතිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.