Gossip

මිනුවන්ගොඩ අවි ගබඩාව මාට්ටු වූ හැටි

මිනුවන්ගොඩ කලහුගොඩ ප‍්‍රදේශයේ නිවසක රහසිගත ලෙස සගවා තිබූ අවි ආයුධ රැසක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම ආයුධ මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගෙන ඇති බවට ද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වුණා. එම අවි ආයුධ සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ කලහුගොඩ ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී මෙම අවි ආයුධ තොගය සොයා ගත්තේ මීගමුව කොට්ඨාශ නීතිය බලාත්මක කිරීමේ ඒකකයයි. ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් ඒවාට යොදන ජීව උණ්ඩ 263 ක්, රයිෆල් උණ්ඩ 25 ක් ද සොයා ගත් දේ අතර වනවා. මීට අමතරව අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ ප්ලාස්ටික් මැගසිනයක් සහ යකඩ මැගසිනයක් ද අදාල නිවසේ සූක්ෂමව සගවා තිබියදී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. අදාල ගිනි අවි වල අංක මකා දමා ඇති බවද මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.

මෙම අවි ආයුධ සමග අදාල නිවසේ රැඳි සිටි සැකකරුවෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා. ප‍්‍රශ්න කිරීම් වලදී අදාල සැකකරු පවසා ඇත්තේ තම සහෝදරිය සමග සම්බන්ධයක් පැවති යුධ හමුදා සෙබළෙකු මෙම අවි ආයුධ රැගෙනවිත් තම නිවසේ රහසිගතව වළදමා තිබූ බවයි. අදාල යුධ හමුදා සෙබළා ටී 56 වර්ගයේ අවි දෙක පිටතට ගෙන ඕනෑම වෙලාවක භාවිතයට ගැනීමට හැකිවන පරිදි තෙල් ගන්වා පිරිසිදු කළ බවද අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

අදාල හමුදා සාමාජිකයා උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ දී මෙම අවි ආයුධ ගෙනවිත් මෙලෙස සගවා තිබූ බව මූලික පරීක්ෂණ වලදී හෙළිවුණා. එමෙන්ම අදාල සැකකාර හමුදා සෙබළා කටුනායක ආඩි අම්බලම ප‍්‍රදේශයේ පාතාල ගැටුමකදී වෙඩි තබා ඝාතනය කළ සුරංග තුෂාර නොහොත් ලොකු අයියා නැමැත්තාගේ සහෝදරයෙකු බවයි පොලීසිය පැවසුවේ.

තම සොයුරා ඝාතනය කළ බවට සැක කෙරෙන ආමි ජීවන් නැමැත්තා ඝාතනය කිරීමට මෙන්ම තවත් අපරාධ රැසකට මෙම අවි ආයුධ සැකකාර හමුදා සෙබළා ලබා දී තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම ගිනි අවි සමග අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි පොලීසිය පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.