Gossip

බේරුවල හැඬ වූ ඛේදවාචකය

beruwala boat

බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයක් සඳහා පිටත්ව ගිය බැතිමතුන් රැගත් ධීවර බෝට්ටුවක් කළුතර දකුණ කටුකුරුන්ද මුහුදු තීරයේදී ඊයේ (19) පෙරැළී යෑම හේතුවෙන් පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වී 7 දෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ජීවිතක්ෂයට පත්වූ අය අතර අවුරුද්දක් වයසැති කුඩා දරුවකු, කාන්තාවන් හත් දෙනකු, පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින බව පොලිසිය පවසයි. ජීවිතක්ෂයට පත් වූවන්ගේ මළ සිරුරු අටක් නාගොඩ රෝහලේද තවත් මළ සිරුරු තුනක් බේරුවල රෝහලේද තැන්පත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මේ බේරුවල ශාන්ත ලාසරස් දෙව් මැඳුරේ වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයේ බෝට්ටු පෙරහර වෙනුවෙන් බෝට්ටු 19ක් බේරුවල මුහුදු තීරයේ සිට කළුතර මුහුදු තීරය දෙසට යත්‍රා කොට තිබේ.

මංගල්‍යයේ කොඩිගස එසවීම වෙනුවෙන් මෙම පෙරහර සංවිධාන කර තිබූ අතර එම උත්සව කටයුත්ත අවසන් කර නැවත දේවස්ථානයට හරවා ගෙන යෑමට කටයුතු කිරීමේදී මෙම ධීවර බෝට්ටුව පෙරැළී ගොස් ඇත.

අනතුරට ලක්වූ බැතිමතුන්ගෙන් 32 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවී තිබේ. මෙම සියලු බැතිමතුන් බේරුවල හා ඒ අවට පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

කිලෝමීටර් දහයක් පමණ ගොස් කළුතර දකුණ ආගමික මධ්‍යස්ථානය ආසන්නයේදී හරවනවාත් සමඟ මුණින් අතට පෙරැළී ඇත්තේ බෝට්ටු සවාරියේ අන්තිමට ගිය බෝට්ටුව බවට පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එම අනතුර වන අවස්ථාවේ එම බෝට්ටුවේ සිටි සංඛ්‍යාව නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් කුඩා දරුවන් ඇතුළු හතළිස් දෙනකුට අධික පිරිසක් පමණ එහි සිටින්නට ඇති බවට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන අයගෙන් ලබා ගත් ප්‍රකාශවලින් සනාථ කළ හැකි බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ පිරිස ගමන් ගත් බෝට්ටු මාළු ඇල්ලීම සඳහා යොදා ගන්නා බෝට්ටු වන අතර එහි අභ්‍යන්තරයේ නිසි අයුරින් බර තැන්පත්ව (අයිස් හා මාළු) නොවීමෙන් බෝට්ටුව එකවර හැරවීමේදී මෙසේ පෙරළෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

පෙරළුණු බෝට්ටුවේ ගබඩා කර තිබූ මාළු දැල් අනතුරට පත්වූ අයගේ ශරීරයේ පැටලී පිරිසක් දිය සුළිවලට හසු වී අතුරුදන්ව ඇති බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (19දා) නාගොඩ හා බේරුවල රෝහල්වල සිදු කිරීමට නියමිතව තිබිණි.

අනතුරට ලක් වූ ධීවර බෝට්ටුව ‘මනුර පුතා 2’ යන නාමයෙන් හඳුන්වන බවද පොලිසිය පවසයි.

මෙම අනතුර වාර්තා වීමත් සමඟ නාවික හමුදාවේ කුඩා යාත්‍රා හයක් සමඟ නාවික හමුදා සෙබළුන් 20 දෙනකු සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇත. ඉන් අනතුරුව දියේ ගිලුණු පිරිස් සහ අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම සඳහා ඩෝරා යාත්‍රා හතරක් සමඟ නාවික හමුදා කිමිදුම්කරුවන් 15 දෙනකු එම මුහුදු තීරය ප්‍රදේශයට පිටත්ව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පැවැසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.