Gossip

ස්‌පා කඩවල සැප මසාඡ් කරන සුන්දරියන්ට නැත

මුහුද සිඹින සුළඟ අප ගත ලුණු දියෙන් නාවන්නේය. සීතලට කඩා හැලෙන පිනි වැස්‌ස ගත, සිත කිතිකවයි. කාලය කෙමෙන් ගෙවී යයි. තවත් අලුත් දවසක්‌ උදා වී හෝරාවකටත් වැඩිය. එහෙත් බම්බලපිටිය මුහුදු මාවත හරි කලබලය. නිශාචර විනෝදකාමීන්ගේ සැප වාහන විදුලි එළි මෙන් එහෙ, මෙහෙ දුවයි. අපි සතර දෙස විපරම් කරමින් මග දිගේ සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටිමු.

අප කැටුව යන ත්‍රිරෝදකරුට නම් මේ ඉසව්ව ආගන්තුක එකක්‌ නොවේ. ඔහු වෘත්තියෙන්ම ත්‍රිරෝදකරුවෙකි. දහවලටත් වඩා රාත්‍රී කාලයේදී මග තොටේ ගැවසෙන කුලී ත්‍රිරෝදකරුවෙකි. එහෙත් දැන් ඔහු අපට මගපෙන්වන්නෙකි. විදුලි ආලෝකයෙන් බැබළෙන සමාජශාලා හා කැසිනෝශාලා මෙන්ම සම්බාහන මධ්‍යස්‌ථාන තුළ මිනිසුන් සූරා කෑමට එරෙහිව හඬ නඟන තරුණයෙකි. ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අකාලයේ කුණු ඇළක සැතපීමට මග එළිපෙහෙළි කරගැනීමක්‌ බව හොඳින් දන්නා ඔහු අපට මඟපෙන්වන්නෙක්‌ම පමණි. ඔහුගේ නම්, ගම් අප දැනගෙන සිටීම ප්‍රමාණවත්ය.

”දැන් මම ත්‍රීවීල් හයර් කරන්න පටන් අරගෙන අවුරුදු විස්‌සකට වැඩියි. මට එක තැනක්‌ කියලා නෑ. මුළු කොළඹම දුවනවා. මීටරය බලලා හයර් එක ගන්නවා. දූවිලි කාගෙන, ට්‍රැෆීක්‌ එකේ දවල්ට දුවනවට වඩා රෑට හයර් දුවන එක ලාබයි… පහසුයි… අවදානමක්‌ තියෙනවා. කොහොමත් අවධානමක්‌ නැතිව ජීවිතේ ගෙනි යන්න බෑනේ. වැඩියෙන්ම මම හයර් කරන්නේ සී සයිඩ් එකේ. මඟ තොටේදී අපි දකින, ඇහෙන දේවල් ලිව්වොත් ලොවෙත් නැති පොතක්‌ ලියන්න පුළුවන්. ඒත් අපි හෙටත් මේ පරිසරයේම ජීවත් වෙන්න ඕනෑ. විශ්වාසවන්ත කෙනෙක්‌ එක්‌ක කතා කරලා හිත නිදහස්‌ කර ගන්නවා. ඒ හැරෙන්න ඒවා රහස්‌…” ඔහුගේ හදවතේ ලියෑවී ඇති ශිලා ලිපිය තවමත් මා ද කියවා ඇත්තේ බිඳකි. ටිකෙන්, ටික එය කියෑවීම මාගේ කැමැත්තය.

නොනිදන මහ මඟ නැටුම් බලන අපිට කාලය ගෙවී යැම නොතේරෙන සේය. එළිවෙන ජාමෙට හොඳ, හොඳ සෙල්ලම් මෙන් දැන්, දැන් ලොකු පොඩි හිල්වලින් විනෝදකාමීහු බඹරු මෙන් ඉගිලෙන්නාහ. එසේ මඟට බහින පිරිමි සැප වාහනවල නැඟී ඉගිලී යති. වැනි, වැනි පාරට වැටෙන කාන්තාවන්ට පිහිටට එන්නේ කුලී ත්‍රිරෝදකරුවන් පමණි. හිමිදිරිය වන විට ඒ කාන්තාවන් රොන් සිඳුණු, පෙති හැලුණු පර වූ මල් බව අමුතුවෙන් කිවයුතු නැත. ගනුදෙනුකරුවන් ඉදිරියේ දුහුල් පට උනා දමන ඕනෑම කාන්තාවකගේ අවසානය ද එයමය. අපගේ ගමන් සගයා බම්බලපිටිය දුම්රිය පොළට ආසන්නයේ නැංගූරම් ලා සිටින්නේ ඔහු දැන හඳුනන කාන්තාවක්‌ සුපිරි රාත්‍රි සමාජ ශාලාවකින් එළියට එන තෙක්‌ය.

කොල්ලුපිටියේ සිට වැල්ලවත්තට යන තෙක්‌ මුහුදු මාවතේදී ඇස ගැටෙන සම්බාහන බෝඩ් ලෑලි එමටය. නා නා ප්‍රකාර නම්වලින් ප්‍රසිද්ධය. ඒ ඇතැම් සම්බාහන මධ්‍යස්‌ථාන දවස මුළුල්ලේම විවෘතය. හයෙන් පස්‌සේ ‘මෙම්බර්ස්‌ ඔන්ලි’ රහස්‌ දොරටුවෙන් ඇතුළටය. එතැනින් එහාට සම්බාහනයක්‌ නැත. ගෑනු දෙතුන් දෙනෙක්‌ සමඟ වුවද එක යහනක රිසි සේ සතුටු විය හැකිය. වැඩේට ඉඩ කඩ කුටි ද හරි අපූරුවට වෙන් කර තිබේ. රාත්‍රියේ මුහුදු මාවතට යන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑ තරම් තැන් තිබේ. මදු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක්‌ තුරුලු කරගෙන නැටුම් නටා ඒ කාන්තාවත් සමඟ යහන්ගත වීමට සුපිරි රාත්‍රි සමාජශාලා තිබේ. ගෑනු කරේ තියාගෙන සූදු කෙළීමට කැමති සුපිරි ධන කුවේරයන්ට, සූදු අන්තුවන්ට තරු බැබළෙන කැසිනෝ ශාලා තිබේ. ත්‍රිරෝද රථයක්‌ හැරෙන්නට ඒ මගෙහි පොඩි වාහන ද නැත. සියල්ල අධි සුඛෝපභෝගී වාහනය. මුහුදු මාවත රාත්‍රියට මෙරට පිහිටි වෙනත් ලොවකි. එහෙත් ඒ ලොවේ සරන්නට මටත්, ඔබටත් නොහැකිය. එය ඇති වෙන්න මුදල් තියෙන අයට නැති වෙන්න තියෙන මවපු සුරපුරයකි.

”අපි බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එළියට ආවා වගෙයි. මම බලලා එන්නද…”

ත්‍රීවීල් මල්ලිගෙ ඒ හඬත් සමඟ රේල් පාරෙන් එපිට මුහුදේ රළ ගෙඩි අතර පෙරළුණු මගේ දැහැන බිඳිණි. දෑස්‌ සමාජශාලාව දෙසට ඉගිලුණි. ගැහැනු රුවක්‌ දෑස්‌හි පැටලිණි. පාට කරපු ඇගේ කෙස්‌ කළඹ නා නා ප්‍රකාර විදුලි එළිවලට දිළිසෙන්නීය. කුණු ගොඩක්‌ අරක්‌ ගත් නිල මැස්‌සෝ මෙන් ත්‍රිරෝදකරුවෝ ඇය වටා කරකැරවෙති. දේහධාරී ඇය ත්‍රිරෝදකරුවන් ඉදිරියේ නිසොල්මන්ව සිටින්නීය. ගමන් සගයා මා ද අතැර ගොස්‌ විදිල්ලක්‌ මෙන් ඇය ඉදිරියේ ත්‍රිරෝද රථය නතර කළේය. ඇසිල්ලට ඒ කාන්තාව ත්‍රිරෝද රථයට ඇතුළු විය. එසැණින් ත්‍රිරෝද රථය වටයක්‌ කරකැවී හීයක්‌ මෙන් පැමිණ මා අසල නතර විය. මේ කාන්තාව මීට පෙර මා දැක නැති මුත් අපගේ ගමන් සගයා ඇය ගැන මම දැනුවත් කර තිබිණි. එහෙත් ඇයගේ නම, ගම නොදනිමි. ඇය රාත්‍රියට සමාජ ශාලාවකත්, දිවා කාලයේ සම්බාහන මධ්‍යස්‌ථානයකත් සේවය කරන බව දැන සිටිමි. එමෙන්ම ඇය අසාධාරණය ඉදිරියේ හිස නවන කාන්තාවක්‌ නොවන බවත් එහෙයින් ඇයට එක තැනක එක දිගට වැඩ කිරීමට නොහැකි බවත් දැන සිටිමි. ඇය ඇඳුම් මාරු කරන ගානට සේවා ස්‌ථාන ද මාරු කරන්නීය. එහෙයින් ඇයට වෘත්තීය අද්දැකීම් එමටය. දැන් ඇයගේ වෘත්තීය ජීවිතය අප ඉදිරියේ විස්‌තර කිරීමට කැමැතිය. එහෙත් රෑ ජාමේ පාර අද්දරක පිරිමි දෙදෙනෙක්‌ ත්‍රිරෝද රථයක කාන්තාවක්‌ තබාගෙන සිටීම යනු හිරේ විලංගුවේ වැටෙන ක්‍රියාවකි. සුපිරි වාහනවලට පොලිස්‌ ඇස නොවැටුණාට, රෝද තුන දකින සුනංගුවට පොලිස්‌ අත සෘජුව ක්‍රියාත්මක වේ. එහෙම වෙන්නේ සුපිරි වාහනවලට අත දමා වන්නියට මාරු වී යනවාට වඩා ත්‍රිරෝද රථයකට, යතුරුපැදියකට දඩ කොළයක්‌ දීගෙන කොළඹට වී ඉන්න එක සැප බව පොලිස්‌ නිලධාරීන් ද හොඳින්ම අවබෝධ කරගෙන සිටින බැවිනි. එහෙයින් අපි සියලු අවදානම්වලින් මිදී දැන් අපේ කතාවේ නායිකාව වී සිටින ඇයගේ නවාතැන්පොළට ගියෙමු. ඇය පමණක්‌ නතර වී සිටින පුංචි කාමරයකි. සුවපහසු නැති මුත් අපේ කතාවට හොඳටම ප්‍රමාණවත්ය.

”මම මේ කාමරය කුලියට අරගෙන දැන් අවුරුදු එකොළහක්‌ වෙනවා. මම කරන රස්‌සාව මොකක්‌ද කියලා ගෙදර අයිති මිනිස්‌සු දන්නවා. මම කවුරු මේකට එක්‌කරගෙන ආවත් ඒ මිනිස්‌සු හොයන්නේ නෑ. වචනයක්‌ කියන්න බැරි වෙන්න නියම වේලාවට මම කුලිය දෙනවා. දැන් මම මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු විස්‌සකට වැඩියි. මම කැමති මා ගැන කතා කරනවටත් වඩා මේ ෆීල්ඩ් එකේ අපි විකිණෙන හැටි කියන්න. ඒක හරි අමුතු කතාවක්‌. අපි දිය වෙලා යනවා. අපිව විකුණන අය තර වෙනවා. ඒ අය තට්‌ටු පිට, තට්‌ටු ගහනවා. අන්තිමේ අපි පාන්කඩ කෑලි ටිකත් ඔතාගෙන ගමට යනවා. මේ ෆීල්ඩ් එකේ ඉන්න හැම ගැහැනියකගේම ඉරණම ඕක තමයි. ෆීල්ඩ් එකේ තෙම්පරාදු වෙලා ඉන්න අය මොත්තේ දාලා ගන්න සම්තින් එක යටි මඩි ගහලා බැංකු පොතක දා ගන්නවා. ෆීල්ඩ් එක ගැන හරි හැටි දැනුමක්‌ නැති අය පොත්ත රතු කර ගන්න හම්බ වෙන සේ සතම වියදම් කරනවා. ලස්‌සනට, පිරිසිදුව ඉන්න ඕනා නැති නම් මිනිස්‌සු අපි ළඟට එන්නේ නෑ. ඒත් ඒවා සීමාවක්‌ ඇතිව කරන්න ඕනා. මම වැඩ කරන තැන්වල කෙල්ලට ඕවා කියා දෙනවට මැඩම්ලා, බොස්‌ලා කැමති නෑ. ඒ අය කැමති අපිට හම්බෙන සොච්චම වියදම් කරගෙන හැමදාම මේ ෆීල්ඩ් එකේම ඉන්නයි. තේ එකක්‌ බීබීම කතා කරමුද? ටක්‌ ගාලා මම තේ එකක්‌ හදන්නම්…”

”නෑ… නෑ… කතා කරලා ඉවර වෙලා තේ එකක්‌ බොමු…” මම ඇය නතර කළෙමි. මේ ගෙන්දගම් පොළවේ පිච්ච වැලක්‌ නැති බව සැක හැර පැහැදිළිය. එහෙත් මේ පුංචි කාමරය පිච්ච මල් සුවඳින් පිරී ගොස්‌ය. පුංචි මුළුතැන්ගෙයත් සමඟ එකට බැඳුණු කාමරය ඇය පිළිවෙළට සහ පිරිසිදුව තබාගෙන තිබේ. විදුලි ආලෝකයෙන් දිදුලන කාමරය පුරා මගේ දෙනෙත් පාවෙන අතරේ ඇය නැවත කතාව පටන් ගත්තාය.

”මම නයිට්‌ ක්‌ලබ් හත අටක වැඩ කරලා තියෙනවා. සමහර තැන්වලින් අයින් වෙලා ආයෙත් ගිහින් වැඩ කරලා තියෙනවා. කිසිම නයිට්‌ ක්‌ලබ් එකකින් වැඩ කරන කෙල්ලන්ට හරියට ගෙවන්නේ නෑ. බොස්‌ලා අපිට කියන්නේ හම්බ කරගන්න තැන ලස්‌සනට හදලා දීලා තියෙනවා උඹලා මහන්සි වෙලා හම්බ කර ගනිල්ලා කියලයි. බිස්‌නස්‌ එකක්‌ ගෙනාවම පොඩි කොමිසන් එකක්‌ දෙනවා. ඒක තමයි මාසේ අන්තිමට එකතු කරලා ගන්න තියෙන්නෙ. යන්තමටම හරි අතට ඉතිරි වෙන්නේ කස්‌ටමර් දීලා යන කීය හරි විතරයි. ඇඳුම්, පැළඳුම්, කෑම් බීම්වලට වියදම් කරලා ඉන්න තැනට දුන්නට පස්‌සේ එකත් ඉවරයි…”

”සමහර නයිට්‌ ක්‌ලබ්වලින් ඉන්න හිටින්න දෙනවා. එහෙම ඉන්න එක හිරේ ඉන්නවා වගේ වැඩක්‌. හුළං පොදක්‌ වදින්නෙ නෑ. අඳුරු කාමරයක්‌ ඇතුළේ එක පොදියට කෙල්ලො දහයක්‌ පහළොවක්‌ විතර ඉන්නවා. ඇදං මෙට්‌ට නෑ. නිදාගන්න තියෙන්නෙ පැදුරු කඩමලු. ඇඳුමක්‌ තියාගන්න තැනක්‌ නෑ. තමන්ට කැමැති කෑමක්‌ හදාගෙන කන්න නෑ. එක්‌කෙනෙකුට උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනොත් කාමරේ ඉන්න සේරටම හැදෙනවා. ඒක මහා අප්පිරිය ජීවිතයක්‌. වෙනම ඉන්නකොට අපිට පුළුවන් දවල් දවසට තවත් මොනවහරි කරලා කීයක්‌ හරි හොයාගන්න. දැන් මම උදේ දහය විතර වෙනකොට හොඳට නාලා කරලා පොෂ් පිට ස්‌පා එකක වැඩට යනවා. හතර, පහ වෙනකොට එතැනින් ඕෆ් වෙලා ගෙදරට ඇවිත් නාලා කරලා ක්‌ලබ් එකට යනවා. පුළුවන් කාලේ හම්බ කරගන්න ඕනා. හැමදාම පොත්ත රතට තියෙන්නෙත් නෑ. මූණේ මස්‌ එල්ලෙන්න එනකොට අපි අව්ටොෆ්. ඒ වෙනකොට අපි කීයක්‌ හරි ඉතුරු කරගෙන හිටියේ නැති නම් වෙන්නේ පාරට බහින්න. අන්තිමේ පොලිස්‌ කූඩුවලත් තැපලා තමයි ගමට යන්න වෙන්නෙ. මේ නයිට්‌ ක්‌ලබ්වල, සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩි හරියක්‌ ඉන්නේ දුෂ්කර ගම්වල අසරණ කෙල්ලො. කොළඹ එකෙක්‌ දෙන්නෙක්‌ හිටියොත් ඒ මුඩුක්‌කුවල. කොළඹ උන් වැඩි කාලයක්‌ මේ ක්‌ලබ් ගානේ ගාටන්නේ නෑ. සතියට, දෙකට ඩීල් ටික හදාගත්තා ඊට පස්‌සෙ ගෙදර ඉඳං කෝල් එකට තැනට ගියා. අවශ්‍ය සේවය කළා. සල්ලි අරං ත්‍රීවීල් එකක නැඟලා ගෙදර ගියා. ත්‍රීවීල් එකක යන්නෙත් ටික කාලයයි. ඊට පස්‌සෙ තමන්ටම කියලා වාහනයක්‌ ගන්නවා. තව කෙල්ලො දෙතුන් දෙනෙක්‌ සෙට්‌ කර ගන්නවා. ඊට පස්‌සෙ එයා මැඩම්. ගමේ කෙල්ලො එහෙම ගමනක්‌ යන්න බයයි…”

”ඔය කොයි නයිට්‌ ක්‌ලබ් එකෙත් කෙරෙන්නේ එකම දේ තමයි. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කනට එක තමයි. ඒකට ඉතිං කෙල්ලො දක්‍ෂ වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා. පාළු කාමරයක්‌ ඇතුළේ බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලලා අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ඒ මනුස්‌සයා දීලා යන සොච්චම විතරයි. නැති නම් අරක්‌කු ගදයි මහන්සියයි විතරයි. කස්‌ටමර් කෙනෙක්‌ එක්‌ක කාමරයකට ගියාම කමිෂන් එක ටිකක්‌ වැඩියි. එහෙමයි කියලා අපිව විකුණලා ගන්න පන්දාහ, හය දාහයෙන් බාගයක්‌ අපිට දෙන්නෙ නෑ. සීයට ගානයි. ඒක ක්‌ලබ් එකෙන් ක්‌ල්බ් එකට වෙනස්‌ වෙනවා…”

”සම්බාහන මධ්‍යස්‌ථානවලත් එහෙම තමයි. ‘ආයුර්වේද’ බෝඩ් එකට විතරයි. යට තියෙන්නෙ රති කෙළිය…”

මතු සම්බන්ධයි
විෂුල කෝදාගොඩ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.