Paper Gossip

අවුරුදු 18දේ අතුරුදන්වුන තරුණියක් අවුරුදු 26කට පස්සේ ගෙදර ඇවිත්

1988-89 කාලයේ මෙරට පැවති භීෂණ සමයේදී අතුරුදන් වූ 18 හැවිරිදි තරුණියක වසර 26 කට පසු තම නිවස සොයා ගම්පොල ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබේ. පද්මා කුමාරි නමැති ඇය අද වන විට 43 වැනි වියේ පසු වෙයි.

ඇය අතුරුදන් වීමෙන් පසු ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇය වෙනුවෙන් ගෙවා තිබේ.

88-89 භීෂණ සමය වන විට 17 වැනි වියේ පසු වූ ඇය යෝජිත විවාහයක බැඳීමෙන් පසු සැමියාගේ ගම වූ කොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස්‌ ඇත. නමුත් ඇයට විවාහ ජීවිතය ගත කිරීමට ලැබී ඇත්තේ මාස තුනක්‌ වැනි කෙටි කලක්‌ පමණි.

භීෂණයේ ගොදුරක්‌ වූ ඇගේ සැමියා ඇස්‌ බැඳ පැමිණි සිවු දෙනකු විසින් නිවසින් රැගෙන ගොස්‌ දුර බැහැර තේ වත්තක වෙඩි තබා මරා දමා ඇත. සැමියාගේ දාන මාන කටයුතුවලින් පසු කුමාරි තම මහ ගෙදරට පැමිණ ඇති අතර, ඉන්පසු සිදු වූ දේ ඇය මෙසේ විස්‌තර කළාය.

“මම මහ ගෙදරට ඇවිත් දවස්‌ දෙක තුනයි ගියේ සැමියාගේ ලොකු අම්මා කෙනෙකුගේ දුවක්‌ මට නාවලපිටියේ තියෙන එයාලගේ ගෙදරට එන්න කීවා. වෙලා තිබුණු සිදු වීමෙන් පීඩනයකින් හිටිය මම එහෙ ගියා. එතැනදී ඒ අය මට කීවා විහාරමහා දේවි උද්‍යානය බලන්න කොළඹ යමුයි කියලා. මට අවුරුදු 18 වත් ලබලා නැහැ. මමත් යමු කීවා. නමුත් මේ අය කොළඹ අරන් ගිහින් මා ගෙදරකට භාර දුන්නා.

ඒ අය මට එන්න නොදී එහෙ මාව හිර කරගෙන වැඩ ගන්න පටන් ගත්තා. අවුරුදු 26 ක්‌ම මට නිදහසක්‌ තිබුණේ නැහැ. පාන්දර පහට නැඟිටලා වැඩ කරන්න පටන් ගත්තේ. මම මේ ගෙදරට යන කොට ළමයි දෙන්නයි, මහත්තයයි නෝනයි හිටියේ. පොඩිම ළමයාට වයස මාස තුනයි. මම ඉතින් ළමයි බලා ගන්න ඒවයි අනෙක්‌ වැඩයි හැමදේම කරන්න ඕනෑ.

ඔහොම අවුරුදු ගණනක්‌ ඉන්න කොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා ඇහුණා. මම ගෙදර යන්න ඕනෑ කියන කොට මට බැණලා යන්න දුන්නේ නැහැ.

අපේ ගෙදර මට සහෝදර සහෝදරියෝ 13 ක්‌ ඉන්නවා. එක මල්ලි කෙනෙක්‌ නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගේ අයියා කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතා වෙන කොට දැන ගන්න ලැබුණා. ඒ එකකටවත් මට යන්න දුන්නේ නැහැ.

අවුරුදු 26 ක්‌ හිටියත් මගේ නම ඡන්ද නාම ලේඛනයටවත් දැම්මේ නැහැ. ග්‍රාම සේවක මහත්තයා එන කොට මාව හංගනවා. එළියට එන්න දුන්නේ නැහැ.

මෙහෙම ඉන්න කොට අසනීප වුණු ඒ අයගේ අක්‌කලා දෙන්නකුත් මේ ගෙදරට ගෙනත් දැම්මා. එක්‌ කෙනෙකුගේ කොන්ද කැඩිලා. නැඟිටින්න බැහැ. මම ඒ හැම කැත කුණුම අත ගාලා වැඩ කරන්න ඕනෑ.

මම මේ වැඩ කරන විට පඩි ඉල්ලුවාම මට හොඳටම ගහනවා. බණිනවා. අද මේ ළමයි දෙන්නගේ වයස පොඩි එක්‌ කෙනාට 26 යි. ලොකු එක්‌ කෙනාට 30 යි. ඒ අයගේ වැඩ එදා ඉඳලා අද වනතුරුම මම තමයි කළේ.

මේ දුක විඳින්න බැරි නිසා අහම්බෙන් දුරකථන ඇමතුමකට කතා කළ අයකුට මම මේ විස්‌තර කියලා මගේ ගෙවල් හොයා ගන්න උදව් කරන්න කීවා. එයත් මාස හතරක්‌ විතර හොයලා හොයා ගන්න බෑ කීවා.

පසුගිය 16 වැනිදා මම ගෙදර අය හවස නිදා ගන්න කල් ඉඳලා රෑ හතට විතර ගෙදරින් පැන ගත්තා. ගෙදර හොයා ගෙන ගම්පොලට 17 දා එන්න පුළුවන් වුණා. ඒත් ගෙදර අයට මාවත් මට ගෙදර අයවත් හඳුනා ගන්න බැරි වුණා. අවුරුදු 26 ක්‌ නේ. අඩුම තරමේ අම්මාටවත් හඳුනා ගන්න බැරි වුණා. පස්‌සේ මගේ අයියා කෙනෙක්‌ මගේ හැඳුනුම්පත බලලා මාව හඳුනා ගත්තා.

ඇගේ සොහොයුරෙකු වන ආර්. ඩී. මුනිදාස මහතා මෙසේ පැවසීය.

“අපේ පවුලේ 13 දෙනාගෙන් පද්මා කුමාරි හත් වැනියා. එයා භීෂණ සමයේ අතරුදන් වුණාට පස්‌සේ මේ ගැන අපි නාවලපිටිය පොලිසියට පැමිණිලි කළා. පස්‌සේ අපි සියලු දෙනාම එයා හොයා ගන්න පටන් ගත්තා. දේවාල ගානේ ගියා. නමුත් හොයා ගන්න බැරි වුණා.

පස්‌සේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇය අතුරුදන් ලේඛනයට ඇතුළත් කළා. නංගිගේ මහත්තයත් භීෂණයෙන් මැරුණ නිසා අපි හිතුවේ එයාටත් මොනවා හරි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි එයාට බණ කියලා. පිරිත් කියලා දානේ පවා දුන්නා. ප්‍රාදේශීය ලේකම්තුමා ඒ දවස්‌වල එයාගේ අතුරුදන් වීම වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල පවා අපට ලබා දුන්නා.

අද නංගි අසරණ වෙලා එයාගේ හොඳම කාලේ ගෙදරක බැල මෙහෙවරට යොදවලා. අද එයාට ඉන්න තැනක්‌ නැහැ. අම්මාත් දැන් වයසයි. අපි ඔක්‌කොමත් බැඳලා ඉන්නේ. එයාගේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා අපි සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇයට සාධාරණයක්‌ ඉටු කර දෙන ලෙසයි.

මේ තරම් කාලයක්‌ වැඩ කරලත් එයාගේ නමට බැංකුවකවත් ශතයක්‌ දාලා නැහැ. මේ වගේ කුරිරු මිනිස්‌සු ගැන නීතියෙන් බලලා වැටුපක්‌ හා වන්දි මුදලක්‌ අරන් දෙනවා නම් එයාගේ අනාගතය සාර්ථක වෙයි. නැති නම් වසර 26 ක්‌ දුක්‌වින්ද ඇයට නැවතත් දුක්‌ විඳින්න වෙයි.”

පද්මා කුමාරි නැවත නිවසට පැමිණීමද අපූරු ආකාරයට සිදු වී ඇත. වැටුපක්‌ ලෙස කිසිදු මුදලක්‌ ලැබී නොමැති ඇයට කොළඹ සිට ගම්පොල ගිරාඋල්ල නිවසට ඒමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇත. නමුත් කුඩා කල සිට ඇය හැදූ වැඩූ නිවසේ බාල පිරිමි ළමයා තුරුණු වියට පැමිණි පසු රැකියාවක නිරත වී සිටින අතර, ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීමේදී අමතක වී ඇති සුළු සුළු මුදල් ඇය එකතු කර ගෙන තිබේ. අවසානයේ එම මුදල රැගෙන ඇය පාරට බැස තිබේ.

පද්මා කුමාරි නිවසට පැමිණි පසු ඇය පිළිබඳව නැවතත් නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු වෛද්‍ය පරීක්‌ෂණ සඳහා ඇය නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඊයේ (19 දා) ඇය යළි නිවසට පැමිණියාය.

ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමාරච්චි මහතා වෙත මේ පිළිබඳව දැන්වීමෙන් පසු වසමේ ග්‍රාම නිලධාරි නිහාල් ගුණපාල මහතා මඟින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස්‌ ලබා දී ඇත.

නාවලපිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.