Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 71වන කොටස

ඡන්ද පෝස්ටර් – කටවුට් මිටි, ලිපිගොනු වගේ හැඟීම් විරහිත විකාර දේවල් හැර, කිසිම ප්‍රේමණීය හැඟීමකට ඉඩක් නොතිබුණු ඒ වටපිටාව තත්පරයකින් සීයෙන් එකක් තරම් කෙටි කාලයකදි හාත්පසින්ම වෙනස් කරන්න කාව්‍යා ඉන්දීවරී ඇල්කඩුවගෙ ඒ කෙඳිරිලි හඬට පුළුවන්කම ලැබුණා.

‘ඇත්තටම ආදරෙයි… ’

දෙවෙනි වතාවට ඒ වචන දෙක මුමුණද්දි ලොකු ඇස් අයිතිකාරිගෙ හුස්මක් පවා තමන්ගෙ මුහුණෙ වැදුණු  බව විසල්ට හොඳින්ම දැනුණා. තත්පර ගාණකට සීමා වුණත් ඒ මොහොත කල්පයකට වඩා දිග බවයි විසල් කල්පනා කළේ. හිරිවැටිලා තිබුණු මුළු ජීවිතේම ආයෙත් අළුතින් හුස්ම ගන්න පටන් ගනිද්දි, උණහුම පිරුණු හාදුවක් විතරක් තනියට ළඟ ඉතුරු කරපු කාව්‍යා ඉන්දීවරී විසල්ට හිතාගන්නවත් ඉඩක් ඉතුරු නොකර කාර්යාලයෙන් එළියට ගියා.

බලාපොරොත්තු නොවුණු මොහොතක හදිස්සියෙම ජීවිතේට රිංගපු සුරංගනාවියක් වචන කීපයකින් තමන්ගෙ ජිවිතේ මෙහෙම අනිත් පැත්තට හරවයි කියල විසල් හීනෙකින්වත් හිතුවෙ නැහැ. ඒත් ඒ දේ ඒ විදියටම සිද්ධ වෙමින් තිබුණා.

එතන ඉඳලා සිද්ධවුණු දවසේ සුපුරුදු රාජකාරි හැම එකක්ම තමන්ගෙ ජීවිතෙන් ගොඩාක් ඈත, කොහේදෝ ග්‍රහලෝකයක සිද්ධවෙන දේවල් විදියටයි විසල්ට දැනුණෙ. හුරුපුරුදු කාල සටහනට අනුව හැම දේම පෙළ ගැහෙද්දි; අළුත් ප්‍රචාරණ සැලසුම්, සංවිධාන කටයුතු, සමීක්ෂණ, සංඛ්‍යලේඛන වගේ දේවල් ගැන කෙස් පැලෙන තර්ක පිරුණු සාකච්ඡා එකින් එක පැවැත්වෙද්දි විසල් ඒ හැම දේකටම සම්බන්ධ වුණේ පිටස්තරයෙක් වගේ.

‘විසල් මල්ලි… මොකෝ බං තනියම හිනාවෙන්නෙ? ’

‘තනියම හිනාවුණා… මම..?’

‘ඔව්… උඹ තමයි… ’

‘පිස්සුද චන්දන අයියෙ… එහෙම දෙයක් නෑ… ’

‘හා හා… එතකොට මං මේ හීනයක් දැකල තියෙන්නෙ… අනේ පලයං බං යන්න. අපිත් ඔය වයස පහුකරානෙ… මං සෑහෙන වෙලාවක ඉඳල බලාගෙන හිටියෙ. ගෙදර හිටපු දවස් ගාණට මොනව මොනව හරි වෙලා වගේ..? හොඳයි හොඳයි, ඔහොම යංකො… හැබැයි පුතෝ අපිට පාටියක් දුන්නෙ නැත්තං බලාගත්තැකි. හරිද…’

චන්දන කිව්ව වගේ තනියම හිනාවුණාද කියල විසල් තමන්ගෙන්ම ඇහුවත් ඒ ප්‍රශ්නයට උත්තර දීම විසල්ගෙ යටිහිත හිතාමතාම මගහැරියා.

හීනයක් වගේ
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අතගෑවා
හීනයක් ද මේ
හිත කීවා…

ග්‍රැෆික් ඩිසයින් කාමරේ තිබුණු පුංචි FM රේඩියෝවෙන් ඒ සින්දුව ඇහෙන්න පටන්ගත්තෙ හරියටම කොයි මොහොතෙද කියල විසල්ට මතක තිබුණෙ නෑ. සමහරවිට මිනිත්තු ගාණකට කළින් වෙන්න ඇති. නැත්නම් පැය ගාණකට කළින් අහපු සින්දුවක් වෙන්නත් ඉඩ තියෙනවා. කාලය ගැන හරියටම අදහසක් නොතිබුණත් මුළු ජීවිත කාලය පුරාවටම ඒ වචන තමන්ගෙ හිතින් මිමිණෙන්න නියමිත බව යටිහිත විසල්ට මතක් කරල දුන්නා.

…ඔබ ඉගිල ගියා
අහස් යහනට
වළාකුළකින් නම අසාගෙන එන්න…

බලාපොරොත්තු නොවුණු මොහොතක මඳ පවනක් වගේ ජීවිතේට ඇවිත්, ඇහෙන නෑහෙන තරම් සියුම් හඬින් ‘ආදරෙයි…’ කියපු කාව්‍යා ඉන්දීවරී ඊළඟ තත්පරයෙ තමන්ව කාර්යාලයේ තනිකරලා කොහේදෝ දුරකට පාවෙලා ගිය හැටි විසල්ට ඒ වචන ඇතුළෙ ආයෙ ආයෙත් සිහිපත් වුණා.

දන්නේ නෑ විසල්  මම කෙරුවේ  වැරද්දක් කියලා. ඒත් මට බැරි වුණා  තව දුරටත් ඒක ඔයාට නොකියා ඉන්න..

හිතේ අයිතිය සින්නක්කරවම පවරගෙන, හීනයක් වගේ පිටවෙලා ගිය ලොකු ඇස් අයිතිකාරි මිනිත්තු කීපයකට පස්සෙ එවල තිබුණු ඒ කෙටි පණිවිඩය කී වතාවක් කියෙව්වද කියලා විසල්ට මතකයක් තිබුණෙ නෑ. ඒත් හැම වතාවකම ඒ අකුරු අතරෙ විසල්ට දැනුණෙ කළින් කිසිම දවසක නොදැනුණු හැඟීමක්. ආයෙත් සැරයක් ඒ ආදරණීය අකුරු අතරෙ අතරමං වෙන්න හිත බල කරද්දියි, නොහිතපු විදියට ජංගමයා ලොකු ඇස් අයිතිකාරිගෙන් ඒ ඇමතුම අරං ආවෙ.
‘…….’

‘ෂ්… මේක අහගෙන ඉන්න…’

වචනයක්වත් කතා කරන්න කළින් එහෙම කියපු කාව්‍යා ඉන්දීවරී රතුපාට හයිබ්‍රිඩ් කාර් එක ඇතුළෙ ඒ මෙහොතේ වාදනය වෙමින් තිබුණු සින්දුව ජංගමයා හරහා විසල්ටත් අහන්න සැලැස්සුවා.

…නම නොදන්නා මලක් පිපිලා
හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා
නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා
වතේ ගන අඳුරේ
නුඹ ඇවිත්දෝ – හීනයක් දෝ
මගේ නම ඇසුවේ
හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා…

— මතු සම්බන්ධයි —
සෞම්‍ය සඳරුවන් ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.