Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 70වන කොටස

‘මං ගැන… ඒ මොනවද මිස්..? ’

කියන්න ඇත්තෙ මොනවද කියන කාරණය වගේම, කියන්න ඇත්තෙ කවුද කියලත් ඉවෙන් වගේ තේරුම් ගත්ත විසල් ලොකු ඇස් අයිතිකාරිටම ඒ ගැන කියන්න ඉඩ දුන්නා.

‘කියල වැඩක් නෑ අප්පා ඒවා… ඔයා ගැන මාර කැරැක්ටර් සෙටිෆිකේට් එකක් දීල තියෙන්නෙ. ඔයා අපේ තාත්ති ළඟට ඇවිත් තියෙන්නෙ ඔත්තු කාරයෙක් විදියටලු… ඔයාගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලත් කියලා… ’

ලොකු ඇස් අයිතිකාරි කටින් වගේම ඇස්වලිනුත් හිනා වෙවී එහෙම කිව්වත් විසල්ට ඒ කතාව ඇතුළෙ බරපතල කාරණා ගොඩක් හිතන්න ඉතිරි වෙලා තිබුණා.

‘ඔන්න ඉතිං අප්සට් ගියා… මොකද ළමයො මේ..?’

තමන්ගෙ කතාව අහගෙන ඉඳිද්දි විසල්ගෙ මුහුණේ ඇතිවුණු ක්ෂණික වෙනස්කම් දිහා විමසිල්ලෙන් බලාගෙන හිටපු කාව්‍යා ඉන්දීවරී එහෙම ඇහුවෙ හිතේ කොණකවත් කහටක් නැති කට හඬකින්.

‘නෙල්සන් සර් මොකද කියල තියෙන්නෙ ඉතිං?’

‘ඔයා හිතන්නෙ මොකක් කියන්න ඇතියි කියලද?’

විසල්ට ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් හිතාගන්න පුළුවන් වුණේ නෑ. ඇත්තටම නෙල්සන් ඇල්කඩුව ඒ වගේ දුරකථන ඇමතුමකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන කාරණය විසල්ට හිතාගන්න බැරිවුණා.

‘දන්නෙ නෑ… සමහරවිට මගේ ගැන සැක කරනව ඇති… ’

‘ඔයා හිතනවද විසල් මගේ තාත්ති එච්චරටම මෝඩයි කියල..? මේ කොහෙවත් යන කෝල් එකක් විශ්වාස කරල මිනිස්සු සැක කරන්න තරම්… අනික එයා හොඳටම දන්නවා ඔයා නොහිටියානම් අද එයාගෙ දුව එයා ළඟ නැහැයි කියල. ඉතිං එහෙම එකේ තාත්ති ඔයාව සැක කරයිද පිස්සෙක් කෝල් කරපු පලියට..?’

‘ඒත් ඒ වගේ කතාවක් එක පාරටම පැත්තකට දාන්න පුළුවන් කාලයක් නෙමෙයිනෙ මේක… ඕනම කෙනෙක් ගැන සැකයක් ඇති වෙන එක සාධාරණයි. ’

‘දෙනව දැං මම දෙකක්… ඇයි ළමයො ඔහොම විකාර හිතන්නෙ..? අනික විසල් ගැන එයාගෙ හිතේ සැකයක් ඇති කළොත් ඒකෙ වාසිය යන්නෙ කාටද කියල තාත්ති හොඳටම දන්නවා… එයාට මේ වෙලාවෙ ඔයාව හොඳටම විශ්වාසයි… ’

සැනසීමක් වගේම මොකක්දෝ වරදකාරී හැඟීමකුත් එකපාර හිතට ඇතුල් වෙලා තමන්ගෙ හුස්ම හිරකරන්න පටන් ගත්ත බවයි විසල්ට ඒ මොහොතෙ දැනුණෙ. කවද හරි දවසක නෙල්සන් ඇල්කඩුව වගේම කාව්‍යා ඉන්දීවරීත් දැනගන්න නියමිත ඒ ‘තිත්ත ඇත්ත’ සියුම් විස කටුවක් වගේ විසල්ගෙ හිතේ ගැඹුරුම කෙළවරක ඇමිණිලා නොනවතින රිදුමක් ඇතිකරන්න පටන් ගත්තා.

‘කාව්‍යාට මාව සැක නැද්ද?’

තව දුරටත් හිතේ හිරකරගෙන ඉන්න බැරිවුණු ඒ ප්‍රශ්නය විසල් ඇහුවෙ ලොකු ඇස් අයිතිකාරිගෙ ඇස්දෙක දිහාම බලාගෙන. තත්පර කීපයක් එක දිගටම විසල් දිහා බලාගෙන හිටපු කාව්‍යා ඉන්දීවරී ඊළඟ මොහොතෙ තමන්ගෙ කටහඬ අවදිකළා, ඇහෙන නෑහෙන තරම් හෙමින්.

‘ඇයි විසල් ඔයාට ඔයිට වඩා නරක ප්‍රශ්නයක් අහන්න බැරිවුණේ?’

ඒ වචන කීපය අහලා ආයෙත් නිහඬවුණු ලොකු ඇස් අයිතිකාරි පිළිතුරක් බලාපොරොත්තුවෙන් විසල් දිහාම බලාගෙන හිටියා. ඒත් ඒ වගේ ප්‍රශ්නයකට දෙන්න ඕන මොනවගේ පිළිතුරක්ද කියලා විසල් දැනගෙන හිටියෙ නෑ.

‘ඇයි… මම වැරදි දෙයක්ද ඇහුවෙ?’

‘අනේ නෑ… හරියටම හරි දෙයක් ඇහුවෙ… ’

එළියට පනින්න බලාගෙන හිටපු දරුණු වේදනාවක් කාව්‍යා ඉන්දීවරීගෙ ඇස්දෙක ඇතුළෙ හැංගිලා තිබුණු හැටි විසල් ඒ මොහොතේ හොඳින්ම දැක්කා. ඊළඟ තත්පරයෙ ඒ වේදනාව වචනවලට හැරිලා පිටාර ගලන්න පටන් ගත්තෙ විසල්ට වචනයක් වත් කතාකරන්න ඉඩක් නොදීමයි.

‘මගේ ජීවිතේ බේරපු කෙනා ගැන සැක කරන්න තරම් මම පහතට වැටෙයි කියල ඔයා කොහොමද විසල් හිතුවෙ. අනික කොහොමද හිතුවෙ ඒ වගේ තුට්ටු දෙකේ ටෙලිෆෝන් කෝල් එකක් පිලිගන්න තරමටම මං දුර්වලයි කියලා. ඔයා කොහොමද මං ගැන හිතාගෙන ඉන්නෙ..? සල්ලිවලින් ඔලුව උදුම්මගත්ත, කිසිම හැඟීමක් දැනීමක් නැති කෙල්ලෙක් කියලද? එහෙමත් නැත්තං අනිත් ඕනම කෙනෙක් බිල්ලට දීල තමන්ගෙ වැඩේ කරගන්න ආත්මාර්ථකාමියෙක් කියලද? කියන්න… ඔයාට කොහොමද මගේ ගැන හිතෙන්නෙ..? මගේ ජීවිතේ බේරපු මිනිහව සැක කරන්න තරම් මං පහලට වැටෙයි කියලද හිතන්නෙ. මං වෙනුවෙන් ජීවිතේ අවදානමට දාගත්ත ඔයාව සැක කරන්න මට පුළුවන් වෙයි කියල හිතුවෙ කොහොමද..? කියනව විසල්…

හුස්මක්වත් ගන්න ඉස්පාසුවක් නොතිබුණු ආදරණීය ආවේගයකින් හැම දේම කියවගෙන කියවගෙන ගිය ලොකු ඇස් අයිතිකාරිගෙ ඒ කතාව, දරාගන්න බැරුව එළියට පැනපු හැඬුමකින් අතරමග නතර වුණා. කෝටිපති ව්‍යාපාරික නෙල්සන් ඇල්කඩුවගෙ එකම දුවවත්, නාගරික මුඩුක්කුවක ඉපදිලා හැදුණු වැඩුණු විසල්වත් තව දුරටත් එතන හිටියෙ නෑ. ඒ වගේම කිසිම පන්ති පරතරයක් හරි දුප්පත් පොහොසත්කමක් හරි තවදුරටත් එතන ඉතුරුවෙලා තිබුණෙත් නෑ.
අතරමග නතරවුණු ඒ කතාව කාර්යාල කාමරය පුරාම දෝංකාර දෙද්දි හිතාගන්නවත් බැරි මොහොතක ක්ෂණිකව ඉස්සරහට ඇදුණු කාව්‍යා ඉන්දීවරී ඇල්කඩුව මේසයේ අනිත් පැත්තෙ හිටපු විසල්ගෙ කොලර් එකෙන් අල්ලලා තමන් දිහාවට ඇදගත්තා. ඒ ඇදීම කොයි තරම් වේගවත් වුණාද කිව්වොත් විසල්ට කිසිම දෙයක් කරකියාගන්න කාලයක් ඉතුරු වුණේ නැහැ.
සියුම් හුස්මක් පවා එකිනෙකාට දැනෙන තරමට ළං වුණු ලොකු ඇස් අයිතිකාරි ඊළඟ මොහොතේ විසල්ගෙ ඇස් දිහා බලාගෙනම ආවේගය සහ ආදරය පිරුණු ඒ තීරණාත්මක වචන කීපය කෙඳිරුවා.
‘දැනගන්නවා විසල්, මං තමුසෙට ගොඩාක් ආදරෙයි… ’

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.