Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 69වන කොටස

ලොකු ඇස් අයිතිකාරි ‘හැමදේම දන්නව… ’ කියද්දි විසල් එක මොහොතකට ගොළු වුණා. ඊළඟ තත්පරයෙ සිහියට ආවෙ, අන්තිම දුරකථන සංවාදය කෙළවර කරද්දි සුරේෂ්ගෙ කටින් පිටවුණු වචන කීපය.

‘විසල්… උඹ දැනට වීරයෙක් වෙන්න පුළුවනි. හැබැයි හොඳට මතක තියාගනිං… උඹ කවුද? ඔතනට ආවෙ මොකටද? කියල නෙල්සන් ලොක්කයි, දෝණියන්දැයි දැනගත්ත දවසට උඹේ ඉරණම අනිත් පැත්තට කැරකෙන්න වැඩි වෙලාවක් යන්නෙ නැති බව…’

ඒ තර්ජනය විසල් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ඒත් මේ තරම් ඉක්මණින් ඒ වගේ දේකට මුහුණදෙන්න කිසිම සූදානමක් විසල් ළඟ තිබුණෙ නෑ.

‘හැම දෙයක්ම දන්නව කිව්වෙ මිස්..? ’

‘හැම දෙයක්ම කියන්නෙ හැම දෙයක්ම… ඇයි මේ බයවෙලා..? ඔයා හිතුවෙ මං ඒ කිසි දෙයක් දැනගන්න එකක් නැහැයි කියලද..? ’

‘ඒ කිසිම දෙයක් හංගන්න මට ඕන වුණේ නෑ කාව්‍යා මිස්… ඒත් ඒ කිසි දෙයක් කියන්න තරම් වෙලාවක් ආවෙ නෑ… ’

‘නවත්තගන්නව ඔය මිස් මිස් කියන නාඩගම. මට නිශාන්ත කිව්වා හැම දෙයක්ම… ’

‘නිශාන්ත..?’

කාව්‍යා ඉන්දීවරී කියන කිසිම දේක අගක් මුලක් තේරුම් ගන්න විසල්ට බැරි වුණා.

‘ඔව්… නිශාන්ත. ඇයි, ඔයා හිතුවෙ මං මේව කවදාවත්ම දැනගන්න එකක් නැතිවෙයි කියලද? ’

මොකක් හරි බරපතල පටලැවිල්ලක් කොහේ හරි තැනක සිද්ධ වෙලා තියෙන බව ලොකුඇස් අයිතිකාරිගෙ කතාව අහගෙන හිටපු විසල්ට ක්ෂණිකව තේරුම් ගියා.

‘ඇයි විසල් මට මේ කිසි දෙයක් කළිං නොකිව්වෙ..? ’

‘මොනවද මං මිස්ගෙන් හැංගුවෙ? ’

‘අනේ බබා… දන්නෙම නෑ. ඇයි මට නොකිව්වෙ ඔයා පස්සෙනුත් අර මිනිස්සු ෆලෝ කරන බව? මං නිසා ජීවිත අවදානමක් ගත්ත මදිවට, ඒ කිසි දෙයක් කියන්නෙත් නෑ. කොහොම කෙනෙක්ද විසල් ඔයා? ’

‘ඒක එච්චර බරපතල දෙයක් නෙමෙයි මිස්. අනික මේ වෙලාවෙ මට වඩා පරිස්සම් වෙන්න ඕන මිසුයි, නෙල්සන් සර්රුයි නෙ…’

‘අනේ ඇත්තමයි… ළඟ හිටියනං මම ගහනව විසල් ඔයාට. මොනවද මේ කියවන්නෙ? ඔයාට කරදරයක් වෙද්දි මං… ’

කියාගෙන ගිය කතාව ක්ෂණිකව අතරමග නතර කරපු කාව්‍යා ඉන්දීවරී තත්පර කීපයක විරාමයක් තියලා ඊළඟ මොහොතෙ තමන්ගෙ කතාව සම්පූර්ණ කළා, පුංචි වෙනස්කමක් එක්ක.

‘…අපි විතරක් පරිස්සම් වෙලා හිටියම හරියනවද ළමයො..? ’

‘දෙවෙනි වතාවෙ සංශෝධනය වෙලා පිටවුණු  වචන ඇතුළෙ පවා හැංගිලා තිබුණෙ, කාව්‍යා ඉන්දීවරී මුලින් කියන්න ගිහිං නතර කළ අව්‍යාජ වචනත් එක්ක බැඳුණු ආදරයම බව විසල්ට දැනුණා.

‘ඔයාට කරදරයක් වෙද්දි මං විතරක් පරිස්සම් වෙලා හරියනවද විසල්?’

දුරකථනයේ අනිත් කෙළවරේ හිටපු ලොකු ඇස් අයිතිකාරිගෙ තාරකා ඇස් දෙක ඇතුළෙ ඒ නොකියා හිරකරගත්ත වචන කීපය ලියැවිලා තියෙන හැටි විසල් හිතින් මවාගත්තා. තව දුරටත් ඒ ආදරණීය ඇස් ඉස්සරහ වංචාකාරයෙක් විදියට හැසිරෙන්න විසල්ට පුළුවන්කමක් තිබුණෙ නෑ. ලැබෙන පළවෙනි අවස්ථාවෙම තමන්ගෙ කතාව කාව්‍යා ඉන්දීවරීට හෙළි කරල නිදහස් වෙන්න විසල් ඒ මොහොතේ හිතාගත්තා.

හොඳටම සනීප නොවී ගෙදරින් එළියට යෑම ගැන රීටා කොයි තරම් විරුද්ධ වුණත් පුතාව නතර කරගන්න අම්මට පුළුවන්කමක් ලැබුණෙ නෑ. විසල් එද්දි කාර්යාලය ඉස්සරහ නතර කරල තිබුණු එකම වාහනය වුණේ රතුපාට හයිබ්‍රිඩ් කාර් එකක් විතරයි. ඒකෙ ඉඳල තමන්ට අත වනපු ජයසේනට හිනාවකින් සංග්‍රහ කරගෙනම විසල් කාර්යාලයට ඇතුල් වුණා.

‘ආ… මෙන්න ඇවිල්ල උදේ පාන්දරම. අනේ අනේ… හොඳටම සනීප වෙනකල් එන්න එපා කිව්ව එක කණකටවත් ගත්තෙ නෑ නේද?’

‘ගෙදරට වෙලාම ඉඳල බෑනෙ මිස්… කෝ තාම කවුරුත් ඇවිත් නැද්ද..?’

‘ඔයා මේ මහ පාන්දර ඔෆිස් ආවට අනිත් අය පලිද ළමයො..? නිශාන්තලත් ඊයෙ රෑ පෝස්ටර් අලවලා එහෙම්මම ලොජ් එකට ගිහිං. දවල් වෙයි කිව්වා එද්දි. මේ… ඒක නෙමෙයි, තාමත් බැරිද ඔය මිස් මිස් නාඩගම අතෑරගන්න?’

කාව්‍යා ඉන්දීවරී ඒ ඉල්ලීම කළේ කීවෙනි වතාවටද කියල හිතින් ගණන් කරන්න උත්සාහ කළත් හදිස්සිය වැඩි කමටම කීප සැරයක් ඒ ගාණ වරද්දගන්න විසල්ට සිද්ධ වුණා. අන්තිමේ ලොකු ඇස් අයිතිකාරිගෙ ආදරණීය ඉල්ලීමට අමාරුවෙන් හරි එකඟ වෙන්න තීරණය කරපු විසල් තමන් ඉදිරියේ දීප්තිමත්ව දැල්වුණු ඒ ඇස් දෙක දිහා හරි කෙළින් බැලුවා.

‘හරි හරි… අද ඉඳල කාව්‍යා කියන්නං… ’

‘අන්න හොඳ ළමය. කොච්චර ලේසිද බලන්නකො එහෙම කතා කරද්දි… ’

‘හැබැයි ඉතිං නෙල්සන් සර් ඉන්න වෙලාවට නං කොච්චර ලේසි වුණත් කට පුරවලා කාව්‍යා මිස්… කියන්න වෙනවා… ’

‘අනේ ඔයාගෙ විකාර… අපේ තාත්ති ඔය වගේ දේවල් ඔලුව උඩ තියා‍ගෙන ඉන්න කෙනෙක් නෙමෙයි හරිද..?’

ලොකු ඇස් අයිතිකාරිගෙ කතාවට හිනාවකින් උත්තර දුන්න විසල් ඒ දීප්තිමත් ඇස්වල එළියෙන් තමන්ගෙ ඇස් අහකට ගත්තා.

‘ආ… හරි වැඩේ නෙ… තාත්ති ගැන කියද්දියි මතක් වුණේ. මේ ළඟදි කවුද පිස්සෙක් අපේ තාත්ති එක්ක මාර කතා ටිකක් කියලනෙ ඔයා ගැන.

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 68වන කොටස >> http://www.gossipking.lk/2017/01/16/34317/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.