Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 68වන කොටස

කාව්‍යා ඉන්දීවරී ගැන හිතෙන්නෙ මොනවද කියල අහද්දි දෙන්න ඕන උත්තර ගණනාවක් මතක් වුණත් ඒ කිසිම උත්තරයක් ඇතුළෙ තමන්ට කියන්න ඕන දේ හරියටම ගොනු කරගන්න බැරි බව විසල් කල්පනා කළා.

‘ඇයි එකපාරටම එහෙම අහන්නෙ..? ’

‘තමුසෙට ඒවා වැඩක් නෑ නෙ… උත්තර දෙනවකො මං අහපු දේට..? ’

‘මං දන්නෑ නංගි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න… ඇත්තම කිව්වොත් ඔයා ඔය අහන්නෙ මාත් මෙච්චර කාලයක් උත්තර හෙව්ව ප්‍රශ්නයක්… ’

‘ඒ කිව්වෙ..? ’

‘මටත් එයා ගැන හිතාගන්න බෑ වෙලාවකට… ’

‘විසල් අයියෙ… මං දෙයක් කියන්නද? හැබැයි දැනට මේක තියෙන්න ඕන අපි දෙන්න අතරෙ විතරයි. හරී?’

‘කියන්නකො… ’

‘කෙලින්ම කියනවනං මේකයි කතාව… මට හැම තිස්සෙම හිතෙනව විසල් අයියෙ, කවී හිතින් ඔයාට ආදරේ කරනව කියල…’

‘මොකක්? ’

විසල්ට කණ්නාඩිකාරිගෙ ඒ වචන කීපය ඇහුණෙ යන්තමින්. කවදාවත් කාව්‍යා ඉන්දීවරී ගැන එහෙම කතාවක් අහන්න ලැබෙයි කියල විසල් හීනෙකින්වත්  බලාපොරොත්තු වුණේ නෑ.

‘ඒක තමයි හලෝ මං කිව්වෙ, මේක නිකම්ම නිකං සීන් එකක් නෙමෙයි, ෆිල්ම් එකක් වෙන්නයි යන්නෙ කියලා. ’

‘කොහොමද එහෙම කියන්නෙ? ’

‘කියන්නෙද? කියන්නෙ කවීගෙ හොඳම යාලුව මම නිසා… දැං සෑහෙන දවසක ඉඳල මට දැනුණ දෙයක් ඒක.’

‘මොකක්ද දැනුණෙ? ’

‘එයා ඔයාට ආදරේ කරනවා කියල මෝඩයො… ’

‘ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නංගි… කාව්‍යා කියන්නෙ නෙල්සන් ඇල්කඩුව කියන කෝටිපතියගෙ එකම දුව. මං මොකෙක්ද? නිකම්ම නිකං ආතක් පාතක් නැති එකෙක්…’

‘ඔන්න ඉතිං චිත්‍රපටි දෙබස් කියන්න පටං ගත්තා. ඔය හැම ඇත්තක්ම මං දන්නව විසල් අයියෙ… ඒත් ඒ කිසිම දේකට පුළුවන්ද මනුස්සයෙකුගෙ හිතක ආදරයක් ඇතිවෙන එක පාලනය කරන්න..? ’

නිරංජලා දිගටම කතා කළත්, ඒ කිසි දෙයක් විසල්ගෙ අවධානයේ රැඳුණෙ නෑ. ඒත් ඒ වෙනුවට කොහේදෝ නොදන්නා තැනක ඉඳල මද පවනක් වගේ හිත ඇතුළට ආව කාව්‍යා ඉන්දීවරී, හිතේ හැම අස්සක් මුල්ලක් නෑරම පාවෙලා ගිහිං මුළු හිතම තමන්ගෙ අයිතියට පවරගත්තා; කිසිම අවසරයකින් තොරව.

‘මං දන්නව විසල් අයියෙ… නොකිව්වට ඔයත් කවීට ආදරෙයි කියලා. මට හංගන්න හදන්න එපා, ඔයාගෙ මූණ බලද්දිම තේරෙනවා ඒක. ඒ නිසයි ඔයත් එක්ක මේ ගැන කෙළිංම කතා කරන්න ඕන කියල මං හිතුවෙ. කවී වගේම ඔයත් කරන්නෙ ආදරේ හිතේ පුරවගෙන තනියෙං විඳවන එක කියල මං දන්නවා… ’

සාත්තරකාරියෙක් වගේ ඒ ටික කියපු නිරංජලා විසල් දිහා බලාගෙන හිටියෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්.

‘මට ඔයා ඉස්සරහ තවත් බොරු කරන්න ඕන නෑ නංගි… ඇත්ත, මගේ හිතෙත් කාව්‍යා ගැන ආදරයක් තියෙනවා. ඒ වගේම ලොකු ගෞරවයකුත්… ’

‘කෙල්ලගෙ හිතෙත් අයියා ගැන තියෙන්නෙ ලොකු පැහැදීමක්. මේ ඊයෙ පෙරේදා දවසක, හිතේ හිරකරං ඉන්න බැරිම තැනද කොහෙදෝ, ඔය සේරම දේවල් මාත් එක්ක කියෙව්වා පැයක් විතර… ’

ලොකු ඇස් අයිතිකාරි ගැන පිරිල ඉතිරිලා යන තරම් ආදරයක් දවසින් දවස තමන්ගෙ හිතේ එකතු වෙන බව විසල් දැනගෙන හිටියා; දවස් ගාණක ඉඳල. ඒත් ඒ වගේ ආදරයක් කෙළවර වෙන්න පුළුවන් එකම අවසානයකින් විතරක් බව හොඳාකාරවම දැනගෙන හිටපු විසල් කිසිම මොහොතක තමුන්ගෙ ආදරයට හිතේ මතුපිටට එන්න ඉඩ දුන්නෙ නෑ. අතරමං වුණු ජීවිතයකට පාර කියන්න තරුවකට පුළුවන් තමයි. ඒත් මහපොළොවේ ජීවත් වෙන දූවිල්ලක් තරම් පුංචි මිනිහෙකුට කවදාවත් බෑ ඒ වගේ පාර කියන තාරුකාවකට අයිතිවාසිකම් කියන්න. විසල්ට ලොකු ඇස් අයිතිකාරි ගැන තිබුණෙත් ඒ වගේ අදහසක්.

ටයර් බංකුව උඩට වෙලා කල්පනා කරන්න කප්පරක් දේවල් විසල්ට ඉතිරිකරපු නිරංජලා යන්න ගියා.

‘හලෝ… විසල්, දැං කොහොමද? ’

‘දැන් ගොඩක් හොඳයි කාව්‍යා මිස්… මැහුම් කැපුවා ඊයෙ. හෙට ඔෆිස් එන්න හිතං ඉන්නෙ… ’

‘ඔන්න ඉතිං ආයෙත් මිස් මිස් ගාන්න තියාගත්ත… නම කියල කතාකරන්න ළමයො. නඩු දාන්නෑ කවුරුවත්… ’

‘ඒක එකපාරටම හුරුවෙන දෙයක් නෙමෙයි කාව්‍යා… මිස්… ඒක නෙමෙයි, ඔෆිස් එකේ තත්වෙ කොහොමද? ’

ඒවා ඔයා ඔලුවට ගන්න එපා විසල්… අපි බලාගන්නම්. ඒක නෙමෙයි… දැං ඉතිං ඔයත් මීට වඩා පරිස්සම් වෙන්න ඕන…’

‘මට මොනව වෙන්නද කාව්‍යා මිස්… ඔයා නෙ පරිස්සම් වෙන්න ඕනෙ… ’

‘කට වහගන්නව විසල්… මං දන්නව හැම දෙයක්ම… ’

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 67වන කොටස >> http://www.gossipking.lk/2017/01/13/34159/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.