Gossip

සිනහා වුණාට ජීවන් මෙන්ඩිස් ඉන්නේ පොඩි කණගාටුවකින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තුන් ඉරියව්වෙන් දායකත්වය දුන් ජීවන් මෙන්ඩිස් සමඟ සතිඅග පත්තරයක තිබුණු සාකච්ජාවක් තමා මේ..

එතකොට කොහොමද ක්‍රිකට් ජීවිතේ?

මේ වෙනකොට පළමු පෙළ තරගාවලිය පටන්ගෙන තියෙන්නේ. මාසයක් විතර ඉදිරියට ඒකේ ක්‍රීඩා කරනවා. එතැනදී දක්ෂතා පෙන්වලා ආපහු ජාතික කණ්ඩායමට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

පසුගිය ඉරිදා ඔබ මේ තරගාවලිය තුළ විශිෂ්ට දක්ෂතාවක් පෙන්නුම් කළා?

ඔව්. නොදැවී ලකුණු 152ක් ලබාගැනීම තමයි ඒ සිදුවීම. මම කොහොමත් මේ කාලයේ හොඳ දක්ෂතා පළ කරන මට්ටමක ඉන්නවා.

නමුත් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොලැබිම ගැන ජීවන් දුකෙන්ද?

ඒ ගැන ‍පොඩි කනගාටුවක් නැහැයි කියන්න බැහැ. නමුත් ඒක තීරකයන්ගේ තීරණයක්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඇතැම් තැන්වල කතාවෙනවා මම ජාතික කණ්ඩායම තුළ සිටිය යුතු කෙනෙක් කියලා. ඇත්තටම ඒ වචනත් මට ධෛර්යයක්.

ජාත්‍යන්තරයේ ඔබට දක්ෂතා පළකරන්න අවස්ථාවක් හිමිවෙලා?

ඔව්. මේ අප්‍රේල් මාසයේදී මම එංගලන්තයේ ඩාබිෂයර් ප්‍රාන්තයේ ක්‍රීඩා කරන්න යනවා. ඒක වටිනා අවස්ථාවක්. මොකද ප්‍රාන්තයකට ක්‍රීඩා කරන්න තේරීපත් වීම විරල අවස්ථාවක්. එහේ ඉඳලා ඊළඟට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්න මම කෙළින්ම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට යන්න බලා‍පොරොත්තු වෙනවා.

ජීවන්ගේ ලස්සන පවු‍ලේ විස්තර කියමු?

මගේ බිරිඳ වනේසා හොඳින් ඉන්නවා. ඒ වගේම අපේ පුතාලා තුන්දෙනා දැන් අවුරුදු 6, 3, 1 කියන වයස්වල ඉන්නේ. ජීවිතේ ලස්සන කරන්නේ එයාලා තමයි.

දවස ගවෛන්නේ කොහොමද?

දැන් නම් දවස පටන්ගන්නේ දරුවෝ ඉස්කෝලෙට ඇරලලා එන එකෙනුයි. ඊළඟට මම පුහුණුවීම්වලට යනවා. ඊට පස්සේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වෙලාව වෙන් කරනවා. අන්තිමට දරුවෝ එක්ක වෙලාව ගත කරලා නින්දට යෑමෙන් තමයි දවස ඉවරවෙන්නේ.

පුතාලා ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසයිද?

අ‍පොයි ඔව්. ලොකු පුතාලා දෙන්නා නිතරම ගෙදර බිත්තියට බෝල ගහමින් බැට් එකට බෝලෙට හුරුවෙනවා. මම ප්‍රැක්ටිස් ඉවරවෙලා මහන්සියෙන් ගෙදර ආවත් ආපු ගමන් එයාලා එක්ක සෙල්ලම් කරන්න එන්න කියලා කතා කරනවා.
වෙන එකක් තියා මම කෑම කමින් ඉන්නකොටත් එයාලට බෝල දාන්න කියලා කියනවා. ‘තාත්තා බත් කනවනේ පුතේ’ කියලා මම කිව්වාම පුතා හරි අපූරු උත්තරයක් දෙනවා ‘තාත්තා බත් කන්නේ එක අතකින් විතරයිනේ. අනිත් අතින් බෝ‍ලේ දාන්න’ කියනවා.

‍පොඩි දරුවෝ ක්‍රීඩා කරනවා දකිනකොට ජීවන්ට ළමා කාලය මතක් වෙනවා ඇති?

ඔව්. ඒත් දැන් ළමයි අපි වගේ ‍නෙවෙයි. අපි බැට් බෝල අරගෙන උදේ ගෙදරින් ගියාම වතුවල, පාරවල, පිට්ටනිවල සෙල්ලම් කරලා හවස තමයි ගෙදර ආවේ. ඒත් අපේ දරුවන්ට එහෙම අවස්ථාවක් නෑ. ගෙවල් ඇතුළේ කොටුවෙලා නිසා දරුවෝ පව් කියලා හිතෙනවා.

ඉදිරියට මොකද වෙන්නේ?

විදේශ සංචාරය ගිහින් ඇවිත් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්න කැමැත්තෙන් ඉන්නවා.

ඔබ තෘප්තිමත්ද?

හැමදාමත් මට හිතෙන්නේ මට තව දක්ෂතා පෙන්වන්න පුළුවන් කියලයි.

කතා බහා – සඳමාලි වර්ණසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.