Technology

මරණයෙන් පසු අහසේ ඉගිල යන බළලා

අපි නිවසේ ඇති කරන සුරතල් සතුන්ට හරිම ආදරෙයි. ඒත් ඔවුන් මියගිය පසු‍ කොතරම් දුක් වුණත් වළදමනවා. අපි ‍අපේ සුරතල් සතුන්ට මොනතරම් ආදරය කළත් මියගියාට පසු ළඟින් තබා ගන්න උනන්දු වන්නේ නෑ. ඒත් ඕර්විල් කියන බළල් සුරතලාට නම් අමුතුම විදිහේ ඉරණමකට ලක් වීමට සිදු වුණා. ඒ තමයි ඕර්විල්ට මියගියාට පසුව අහසේ පාවෙන්නට සිදුවීම.ඕර්විල් 2012 වසරේ දී මෝටර් රථයකට හසුවී මියගියා. ඕර්විල්ගේ හාම්පුතා බාර්ට්ජැන්සන් එයාව වළ දැමීම වෙනුවට අහසේ පා කිරීමට තීරණයක් ගත්තා. ලන්දේසි ජාතික කලාකරුවකු වන මොහු මිය ගිය පූසාගේ සිරුර භාවිතා කර ඩ්‍රෝන යානයක් නිපදවා තිබෙනවා. පාද සතර කෙළවරෙහි තිබෙන පෙති කැරකීමෙන් ඉහළට යන යානය දුරස්ථ පාලකයක් මඟින් පාලනය කළ හැකියි. ඕර්විල්කොප්ටර් (Orvillecopter) යන නමින් හඳුන්වන මෙම ඩ්‍රෝන යානය මොහුගේ එකම නිර්මාණය නම් නොවේ. මෙලෙසින් අහසේ ගමන් කළ හැකි සත්ත්ව ඩ්‍රෝන යානා කිහිපයක්ම මේ වනවිට මොහු නිපදවා ඇති අතර මේවායේ තාක්ෂණික කටයුතු සිදු කිරීමට මොහුට සහාය වන්නේ තාක්ෂණික ඉන්ජීනේරුවකු වන ආර්ජෙන් බෙල්ට්මෑන්..

ඕර්විල්කොප්ටර් යන්ත්‍රය සාදා වසරකට පමණ පසුව මැරුණු පැස්බරයකු හට පියෑඹීමට

වරම් ලබා දීමට මෙම දෙපළ සමත් වූවා.

යෝධ පැස්බරකු ඔලුවට ඉහළින් පියඹා යෑම නම් තරමක් අමුතු අරුමුපුදුම දෙයක් ලෙස බොහෝ දෙනා අදහස් දක්වා තිබෙනවා. පැස්බරාට පසුව අහසේ සැරිසරන්නට වරම් ලද මීළඟ සතාව ඇසූ විට නම් ඔබට කුමක් සිතේවිද කියා පැවසීමට අපහසුයි. ඒ මන්දයත් මීයෙකු අපේ පාදයක් අසලින් යන විට පවා බියෙන් අහකට විසිවන අපි මීයකු පියඹා අපේ හිස අසලින් ගියහොත් කුමකින් කුමක් සිදුවේයැයි කියා පැවසීමට නොහැකි නිසා. අනිකුත් ඩ්‍රෝන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන මෙම මී ඩ්‍රෝන යානය සාදා තිබෙන්නේ 2014 වසරේදී යි. මෙලෙස සතුන්ව යොදා ගත්තත් මොවුන් කිසි ලෙසකින්වත් ජීවත්ව සිටින සතකුට හිංසා කරන්නේ නම් නෑ. මැරුණු සතුන්ව තමයි මොවුන් මෙලෙස ඩ්‍රෝන් සෑදිම සඳහා භාවිතා කරන්නේ. ඩ්‍රෝනයානා වලට අමතරව ජෙට් යානයක් පවා මොවුන් නිර්මාණය කර තිබෙනවා. ජෙට් යානය සාදා තිබෙන්නේ කොරල්පර ආශ්‍රිතව ජීවත් වන මෝර විශේෂයක කුඩා පැටවකු උපයෝගී කරගෙනයි. Sharkjet නමින් හඳුන්වනු ලබන මෙම ජෙට් යානයේ තටු හැරුණු විට සෙසු බඳ කොටස ලෙස මෝරාගේ ශරීරය මොවුන් යොදාගෙන තිබෙනවා.

මොවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ මිනිසකුට ගමන් කළ හැකි ආකාරයේ සත්ත්ව ඩ්‍රෝන යානයක් නිර්මාණය කිරීමයි. ඉතා විශාල කර්තව්‍යයක් වන මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර විස්තර නම් තවම ඔවුන් එළිදක්වා නෑ. ඊට අමතරව සත්ත්ව සබ්මැරීන යාත්‍රාවක් නිපදවීමට ඇති අදහසක් පිළිබඳවත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වී තිබෙනවා. කෙසේ වෙතත් මිනිසුන් රහිත කුඩා යානා නිපදවීම නම් ඔවුන් ඉතා ඉහළින් කරගෙන යාමට අදහස් කරන බව පෙනී යන්නේ ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය නිසායි. මෙමඟින් ඕනෑම කෙනකුට තමාගේ මියගිය සුරතලාව මොවුන් වෙත භාරදී ඩ්‍රෝන යානයක් සකසා ගැනීමට හැකියාව තිබෙනවා. සුරතලා සමඟ නැවත වරක් ක්‍රීඩා කිරීමටද එයින් අවස්ථාව හිමිවනවා. මෙම ක්‍රියාව කෲරතර ක්‍රියාවක් ලෙස ඇතැමුන් පවසනවා. අන්තර්ජාලයේ එවැනි අදහස් ඉතා විශාල ප්‍රමාණයක් පළවී තිබුණත් බාර්ට් හා ආර්ජෙන් තමන්ගේ ඩ්‍රෝන නිපදවීමේ කටයුතු සිදු කිරීම දිගටම කරගෙන යන්නේ ඇඳුම් පැළඳුම් හා විසිතුරු දෑ නිර්මාණය කිරීමට විශාල ලෙස සතුන් මරා ඔවුන්ව හිංසනයට ලක් කිරීම නොපෙනෙන පුද්ගලයන්ගේ අදහස් තමාට අදාළ නොවන බව සිතමින් විය හැකියි.

කවිඳු වීරරත්න
Kavindu616@gmail.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.