Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 67වන කොටස

Sihina Siththarawi

කිසි දෙයක් නොදන්න ගාණට හැසිරෙන සුරේෂ් බාලචන්ද්‍රන්ගෙ කතාව ඇහෙද්දි විසල්ගෙ කේන්තිය කිහිප ගුණයකින් වැඩි වුණා.

‘නිකං සුදුලූණු පොඩිකරන්න එපා මචං… මං දන්නවා උං කාගෙ මිනිස්සුද? ආවෙ මොකටද කියල? ’

‘හරි… මොනවද උඹ දන්නෙ?’

‘දවස් ගාණක් තිස්සෙ උඹෙයි, ලොයිඩ් ලොක්කගෙයි මිනිස්සු මං පස්සෙන් ආව බව මං දන්නෙ නෑ කියල හිතන්න එපා මචං… අනික අර සිද්ධියෙන් පස්සෙ, පහුවදා පාන්දරම දෙන්නෙක් මාව හොයන්න එව්වෙ ආදරේට නෙමෙයි කියලත් මං දන්නවා. ’

‘උඹටනං පිස්සු විසල්… මං උඹට එහෙම දෙයක් කරයි කියල කොහොමද හිතුවෙ..? යකෝ අපි එකට වැඩකරන එවුං නෙ… ’

‘නෑ මචං… තවදුරටත් නෑ… ’

විසල්ගෙ කටින් ඒ තීරණාත්මක වචන කීපය පිටවෙද්දි අනිත් කෙළවරේ හිටපු සුරේෂ් බාලචන්ද්‍රන් මොහොතකට ගොළුවුණා. ඒත් ඒ නිහඬබව ඇතුළෙ පිරිල තිබුණෙ ඉහවහා ගිය කේන්තියයි, වෛරයයි විතරයි කියලා තේරුම් ගන්න විසල්ට අමාරු වුණේ නෑ.

‘මොකද්ද උඹ කිව්වෙ? ’

‘උඹට ඇහුණු දේම තමයි සුරේෂ්… තව දුරටත් උඹලගෙ ඉත්තෙක් වෙන්න මට බෑ. අනික… එකම ගේම් එකක ඉන්න එවුන්ටත් කොලේ වහලා ගහනවනං, එහෙම තැනක ඉන්න එක විහිං ඉල්ලගෙන කෑමක් විතරයි මචං. මං ඒක හොඳටම දන්නවා…’

‘උඹ දන්නවද විසල් උඹ ඔය කියවන්නෙ මොනවද කියල? ’

‘ඔව් සුරේෂ්… මං හොඳටම දන්නවා මේ කතාවෙන් සිද්ධවෙන්නෙ ලොයිඩ් ලොක්කගෙ අතිං මගේ මරණ වරෙන්තුවත් ලියවගන්න එක කියල. හැබැයි තව දුරටත් මැරි මැරී ජීවත් වෙනවට වැඩිය ඒක සනීපයි මචං… උඹ කැමති ඕනම  දෙයක් කරපං. ඒත් මං තවදුරටත් ඔය ගේම් එකේ ඉත්තෙක් වෙන්න ලෑස්ති නෑ… ’

ගිනි ගොඩක් මැද වුණත් විසල්ට කවදාවත් නොදැනුණු සැනසිල්ලක් ඉතිරි කරමින් දුරකථනය විසන්ධි වුණා. සුරේෂ් බාලචන්ද්‍රන් වගේම ලොයිඩ් ඇල්කඩුවත් තමන්ගෙ ජීවිතය ගැන තීරණයක් ගන්න වැඩි කාලයක් ගත නොකරන බව විසල්ට රහසක් වුණේ නෑ. ඒත් ඒ භයානක සැලැස්මේ කොටස් කාරයෙක් විදියට තවදුරටත් වැඩ කිරීම තරම් වෙන කිසිම දෙයක් භයානක වෙන්න බැරි බවයි විසල් කල්පනා කළේ.

‘බලහල්ලකො ඉතිං… අපි මේ තකහනියක් ලෙඩ බලන්න ආවා. මෙන්න ලෙඩා මෙතන…’

නිරංජලා කණ්නාඩිකාරිගෙ කටහඬ ඇහෙද්දි විසල් හිටියෙ කුණු ඇල අද්දර ටයර් බංකුව උඩට වෙලා අහස පොලොව ගැටලන තරමේ කල්පනාවක. ජීවිතේ සිද්ධවුණු වෙනස්කම් එක්ක කාලයක් තිස්සෙ මගහැරුණත් ඒ බංකුව එක්ක විසල්ට තිබුණෙ ලේසියෙන් අමතක කරන්න බැරි මතකයන් ගොඩක්. රතුපාට හයිබ්‍රිඩ් කාර් එකක පැති වීදුරුවෙන් එබිලා ‘නිරංජලාගෙ ගේ කෝකද?’ කියල අහපු ලොකු ඇස් අයිතිකාරිත් ඒ මතකයන් අතරෙ ඉස්සරහින්ම හිටියා.

‘ලෙඩ බලන්න එනවනං ඉතිං ඔහොම හිස් අතිං ඇවිල්ල හරියනවද හලෝ… ඇපල් ගෙඩියක්, දොඩං ගෙඩියක්වත් අරං එන්න එපැයි… ’

‘තමුසෙනං මහම මහ පොලී මුදලාලියෙක් හලෝ… අපි මේ මනුස්සකමට ලෙඩ බලන්න ආවම ඒකෙනුත් කොමිස් ගහන්න හදන්නෙ…’

එහෙම කියාගෙනම බංකුවේ අනිත් කෙළවරෙන් වාඩිවුණු නිරංජලා විසල්ගෙ අතේ තිබුණු බැන්ඩේජ් එක හෙමින් සීරුවේ පිරිමැද්දා.

‘දැං කොහොමද අයියෙ..? ’

‘දැන්නං අවුලක් නෑ නංගි… හෙට තමයි මැහුම් කපන්න තියෙන්නෙ… ’

‘හප්පෝ… ඇති යාන්තං. කොහෙද ඉතිං, මං කොච්චර කෑ ගැහුවද ඒ මිනිහා කඩුවක් ඇදල ගනිද්දි. තමුසෙ අර හින්දි ෆිල්ම්ස් වල වීරය වගේ කවීගෙ අතිං අල්ලපු එකාට ගහගෙන ගහගෙන ගියානෙ මෙලෝ සිහියක් නැතුව…’

‘එහෙම තමයි හලෝ… ඒ වගේ බරපතල වෙලාවක මේ කණ්නාඩි දාන පොල්කිච්චියො කෑ ගහන සද්දෙ ඇහෙයිද..?’

‘ආ… ඇත්තද? මං එතකොට පොල්කිච්චි..? අපරාදෙ මං යටිගිරියෙං කෑ ගැහුවෙ. ෂික්… දන්නවනං ඒ මිනිහට සපෝට් එකක් දෙනවා අනිත් අතටත් එකක් දෙන්න.’

‘ඒක නෙමෙයි, මොකද අද ගෙදර… ලෙඩ නිවාඩුද..?’

‘ඊයා හලෝ ඔයානං. එහෙම එකක් නෙමෙයි වදේ… අද මට ලෙක්චර්ස් නෑ. ඒකයි…’

විසල්ගෙ දකුණු අත නොරිදෙන්න කෙනිත්තුව නිරංජලා ඊළඟ මොහොතෙ මහා බරපතල පෙනුමක් තමන්ගෙ කටහඬට එකතු කරගත්තා.

‘ඒක නෙමෙයි විසල් අයියෙ, මං ආවෙ දෙයක් ගැන ඔයත් එක්ක ටිකක් කතා කරන්න… ’

‘මොකක්ද නංගි සීන් එක?’

‘සීන් එකක් නෙමෙයි හලෝ… කෙළින්ම ෆිල්ම් එකක් කියලයි මටනං හිතෙන්නෙ… ’

‘කියනවකො තේරෙන බාසාවකිං…’

‘විසල් අයියෙ, ඔයාට මොනවද කවී ගැන හිතෙන්නෙ..?’

කණ්නාඩිකාරිගෙ ඒ ප්‍රශ්නය ඇතුළෙ කියන, නොකියන කතා ගොන්නක් හැංගිලා තියෙන බව විසල්ට දැනුණා.

‘කාව්‍යා ගැන..?’

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

 

සිහින සිත්තරාවි 66වන කොටස >> http://www.gossipking.lk/2017/01/11/34019/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.