Paper Gossip

අද තරඟයට මුහුණදෙන්න කළින් ධනංජය කියපු කතාව

තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය දකුණු අප්‍රිකාව හමුවේ කලින්ම පරාජයට (2-0) පත්වූ ශ්‍රී ලංකා පිල සිය ගෞරවය රැක ගැනීම උදෙසා තෙවැනි ටෙස්‌ට්‌ තරගයට අද (12 දා) ජොහැන්නස්‌බර්ග් හිදී සහභාගි වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

ජොහැන්නස්‌බර්ග් හිදී ශ්‍රී ලංකා පිල ටෙස්‌ට්‌ තරගයට සහභාගි වන්නේ වසර 15 කට පසු වන අතර ඔවුන් එහිදී සහභාගි වූ එකම ටෙස්‌ට්‌ තරගයද පරාජයට පත්ව තිබේ. කෙසේ වෙතත් සත්කාරක දකුණු අප්‍රිකානුවන් මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ තරග 36 කට සහභාගි වී ජයග්‍රහණ 14 ක්‌ සහ පරාජයන් 11 ක්‌ ලබා තිබේ.

අද තරගයේදී කණ්‌ඩායම් දෙකේම වෙනසක්‌ අපේක්‍ෂා කළ හැකි බව වාර්තා වුවද එය කුමන අයුරකින් සිදුවේද යන්න වාර්තා වී නොතිබුණි. කෙසේ වෙතත් වැරදි හදා ගනිමින් යළිත් සටන්කාමී තත්ත්වයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපේක්‍ෂාවෙන් සිටිති.

වත්මන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ පසුගිය තරග කිහිපය තුළදී ලකුණු අතර සිටි ධනංජය ද සිල්වාට දකුණු අප්‍රිකාවේදී මෙතෙක්‌ ලකුණු අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඔහු පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියම ටෙස්‌ට්‌ තරග දෙකේදී අසාර්ථක වී ඇත. එවැනි මොහොතක ඉදිරියේදී දකුණු අප්‍රිකානු තත්ත්වයට ඉක්‌මනින් හැඩගැසිය යුතු බව ධනංජය ද සිල්වා තෙවැනි ටෙස්‌ට්‌ තරගය ආරම්භ වීමට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබේ.

”දකුණු අප්‍රිකාව වැනි රටවල තියෙන තණතීරුවල වේගය සහ දෝලනය අපිට ඉතාමත් දුෂ්කර වුණා. අපි අපේ පිතිකරණ හැකියාව වැඩි දියුණු කර ගත යුතුයි. නමුත් මෙහි තත්ත්වයට අපි ඉතාමත් ඉක්‌මනින් හුරු වෙන්න වෙනවා.” යෑයි ධනංජය ද සිල්වා පවසයි.

ධනංජය ද සිල්වා සහභාගි වූ ටෙස්‌ට්‌ තරග හතේදී ඉනිම 14 ක්‌ ක්‍රීඩා කරමින් ශතක දෙකක්‌ සහ අර්ධ ශතක දෙකක්‌ සමග මුලු ලකුණු 653 ක්‌ ලබා තිබේ. එහිදී ඔහුගේ ඉනිමක සාමාන්‍ය 50.23 ක්‌ ලෙස සටහන් වේ. ඔහු වත්මන් ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවාද වේ.

‘මම හිතන්නෙ නැහැ අපේ පිතිකරණ රටාව සහ පන්දු යෑවීම මෙහිදී විශාල වෙනසකට ලක්‌ කළ යුතුයි කියලා. නමුත් අපි මීට වඩා හොඳ තත්ත්වයෙන් අවස්‌ථානුකුලව මුහුණ දිය යුතුයි. එක්‌ කෙනෙකු ලොකු ඉනිමක්‌ ක්‍රීඩා කළ යුතුයි. ඒ ඉනිම වටා අනිත් අය ක්‍රීඩා කළ යුතුයි. අපි අපේ පන්දු යවන්නන්ට සටනක්‌ දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක්‌ පිතිකරුවන් විදිහට ලබා දිය යුතුයි.’ යෑයි මේ නවක ක්‍රීඩකයා තවදුරටත් පවසා තිබේ.

පිතිකරු අනුපිළිවෙල අග්ගිස්‌සෙන් හෙවත් අංක හතෙන් පන්දුවට පහරදීමේදී ටිකක්‌ ඉක්‌මනින් ලකුණු ලබා ගැනීමට සිදුවන බව පවසන ධනංජය ද සිල්වා අංක 5, 6 හෝ 7 ස්‌ථානයෙන් පන්දුවට පහරදෙමින් ඉනිමක ලකුණු 60.60 ක්‌ රඳවා ගැනීමට සමත්ව සිටියි.

”අංක හතේ පන්දුවට පහරදීම තමයි මගේ කාර්යභාරය වෙලා තිබුණේ. ඒ වෙලාවට කඩුලු නැති නිසා මට ටිකක්‌ ඉක්‌මනින් ලකුණු ලබා ගන්න සිද්ධ වෙනවා. මම පිතිකරු ලැයිස්‌තුවේ ඉදිරියෙන් යන විට ලොකු ඉනිමක්‌ ක්‍රීඩා කරන්න උත්සහ කරනවා. නමුත් මගේ රාජකාරි වන්නේ අංක හතෙන් කණ්‌ඩායමට අවශ්‍ය දේ ලබාදීමයි.” යෑයි පැවසූ ධනංජය අද තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ කොතැනින් පන්දුවට පහර දෙනු ඇත්දැයි ඊයේ වනතුරුත් ස්‌ථිර වී නොතිබුණි.

 

උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.