Paper Gossip

ඉනෆ්ලුවෙන්සාවෙන් මහනුවර රෝහලේ රෝගීහු 3ක්‌ මරුට

influenza

මහනුවර මහ රෝහලේ පැතිර යන ඉනෆ්ලුවෙන්සා එච් වන් එන් වන් වසංගත රෝගය හේතුවෙන් තිදෙනකු මියගොස්‌ ඇති බවත් තවත් තිදෙනකුට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.එම රෝහලේ වකුගඩු ඒකකයේ සිටි රෝගීන් තිදෙනකු පෙරේදා (10 දා) රාත්‍රියේ මියගොස්‌ ඇති අතර එසේ හදිසියේ රෝගීන් මිය යැමට හේතුව සොයා බැලීමේදී එච් වන් එන් වන් රෝග වෛරසය පැතිර යන බවට කරුණු අනාවරණය කර ගෙන තිබේ.

මෙම ඉනෆ්ලුවෙන්සා වසංගත රෝග තත්ත්වය සෙසු වාට්‌ටුවලට පැතිර යැම වළක්‌වාලීම සඳහා කොළඹ වසංගත රෝග නිවාරණ ඒකකයේ වෛරස්‌ රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සහ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය එන්. වයි. සමරවීර මහත්වරු ඊයේ (11 දා) මහනුවර මහ රෝහලට පැමිණ කාර්ය මණ්‌ඩල දැනුවත් කළහ.

ඉනෆ්ලුවෙන්සා රෝග තත්ත්වය කඩිනමින් හඳුනා ගනිමින් එය පාලනය කිරීම සඳහා මහනුවර රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ වෙනම එච් වන් එන් වන් පරීක්‍ෂණ ඒකකයක්‌ ද වකුගඩු ඒකකයේ වෙන් කොට ප්‍රතිකාර ලබා දීමේ ඒකකයක්‌ ද ආරම්භ කළ බව රෝහල් අධ්‍යක්‍ෂ සමන් රත්නායක මහතා පැවැසීය.

වකුගඩු ඒකකයේ මෙතෙක්‌ පැවැති රුධිර කාන්දුකරණ ඒකක දෙකෙන් එක්‌ ඒකකයක ඉනෆ්ලුවෙන්සාව වැළඳී ඇතැයි සැක සහිත වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා පමණක්‌ වෙන් කළ බව පැවසූ රෝහල් අධ්‍යක්‍ෂවරයා උණ හෝ ස්‌වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්ත්වයක්‌ පවතින ඕනෑම අයකු වහාම ප්‍රතිකාර වෙත යොමු වන්නැයි ඉල්ලා සිටියේය.

කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන්, කිරිදෙන මවුවරුන්, අත්‍යවශ්‍ය කාරණයක්‌ හැරුණු විට මහනුවර රෝහලට පැමිණීමෙන් වළකින ලෙසත්, රෝහලට පැමිණෙන සෑම පුද්ගලයකුම මුව ආවරණ යොදා හෝ වෙනත් ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ පිළිපදින ලෙසත් රෝහල් අධ්‍යක්‍ෂවරයා ඉල්ලා සිටී.

 

උපුටා ගැනීම දිවයින පවුත්පතෙන්

සමන්ති වීරසේකර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top