Gossip

සිහින සිත්තරාවි (Digital නවකතාව) – SEASON 02 – 66වන කොටස

Sihina Siththarawi

‘ඇයි මිස්ට එකපාරටම එහෙම හිතුණෙ..? ’

‘එක පාරටම නෙමෙයි විසල්… මට හැම තිස්සෙම හිතෙනවා මෙතන අපි නොදන්න මොකක් හරි දෙයක් තියෙන බව. යුනිවර්සිටි එක ළඟ වුණු දේම අරං බලන්නකො. හොඳටම දන්න කෙනෙකුට මිසක් ඒ වගේ දෙයක් එහෙම දවසක කරන්න බැහැනෙ..?’

‘ඒ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ… කොහොම වුණත් මිස් අපිට මේ වෙලාවෙ එකම කෙනෙක් ගැන විතරක් සැක කරන්න බැහැ නේද? ඕනම කෙනෙක් මේක යට ඉන්න පුලුවන් නෙ. අනික නෙල්සන් සර්ට වුණත් දැං ඉස්සරට වැඩිය හතුරො වැඩියි නෙ මිස්… ’

‘කොහොම වුණත් කමක් නෑ… විසල් ඉක්මණට සනීප වෙන්නකො. මේ දේවල් මගේ ඔලුවට මහ බරක් විසල්. එක පැත්තකින් ඉලෙක්ෂන් කැම්පේන් එකේ වැඩ… අනිත් පැත්තෙන් මේ ප්‍රශ්නෙ. තාත්තිත් මට පෙන්නුවෙ නැතුවට ඉන්නෙ ප්‍රශ්න ගොඩක. එයාට දරාගන්න බෑ විසල් මට කරදරයක් වෙන්න ගිය එක… ’

‘නෙල්සන් සර් මං එක්කත් කතා කළා මිස් ඒ ගැන… වැඩි දවසක් යන්න කළිං ඒ වැඩේ කරපු අයව හොයාගන්න පුළුවන් වෙයි… ’

‘ඒකම තමයි විසල් මට බය. තාත්ති පුදුම කේන්තියකින් ඉන්නෙ කාටවත් නොකිව්වට…’

‘කෝකටත් මිස් ටිකක් කල්පනාවෙන් ඉන්න… මාත් අද හෙටම එනවනෙ. නෙල්සන් සර්ටත් කියන්න කලබල වෙන්න එපා කියල… මොකද මේ දේවල් පිටිපස්සෙ ඉන්න අය දැනටමත් දන්නවා ඇති අපි කරන්නෙ මොනවද කියලා… ’

‘ඔයා අත හොඳ කරගෙනම එන්න විසල්… මම මේ දේවල් බලාගන්නං කොහොම හරි… ’

‘මිස්… නෙල්සන් සර් ගැන කල්පනාවෙන් ඉන්න. ගාඩ්ල දෙන්නටත් කියන්න හොඳ අවධානයෙන් ඉන්න කියල. මේ වෙලාවෙ වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන නෙල්සන් සර් නෙ මිස්… ඉලෙක්ෂන් එකෙනුත් මේ වෙද්දි අපට වැඩි වාසියක් තියෙන නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන එක හොඳයි.’

‘මේ… විසල් මහත්තයා… පොඩි දෙයක් කියන්නද?’

‘මොකක්ද මිස්?’

‘ඔයාට ඔය නාඩගං බාසාව නවත්තගන්නම බැරිද?’

කොයි තරම් බරපතලකමක් මවාගෙන අහන්න උත්සාහ කළත්, ඒ ප්‍රශ්නය ඇතුළෙ හිර වෙලා තිබුණු ප්‍රේමණීය හිතවත්කම සම්පූර්ණයෙන්ම හංගගන්න ලොකු ඇස් අයිතිකාරිට පුළුවන් වුණේ නෑ.

‘මොන බාසාවද මිස්..? ’

හිනාව හිරකරගත්ත විසල් ඇහුවා. ලොකු ඇස් අයිතිකාරි සමහර වචන උච්ඡාරණය කරද්දි ඒ වචනවලට එන්නෙ අමුතුම හැඩයක්. හරියට බහ තෝරන පුංචි දරුවෙක් මහා බර වචන තියෙන පොතක් නුහුරට කියවනවා වගේ.

‘නාඩගං බාසාව… ඉස්කෝලෙ ගිහිං වගේ මිස්… මිස්… ගාන්නැතුව නම කියල කතා කරන්නකො… ’

කාව්‍යා ඉන්දීවරීගෙ ඒ කතාව ඇහෙද්දි විසල් එක මොහොතකට ගොළු වුණා. කිසිම ආඩම්බරකමක් නොතිබුණත්, ඒ තරම් නිහතමානී කතාවක් විසල් ලොකු ඇස් අයිතිකාරිගෙන් බලාපොරොත්තු වුණේ නෑ.

‘මොකද ඒ පාර සද්ද නැත්තෙ..? ’

‘මං කොහොමද කාව්‍යා මිස් එහෙම කෙළින්ම නම කියලා කතා කරන්නෙ..?’

‘ඇයි බැරි..? මං නෙල්සන් ඇල්කඩුවගෙ දුව හින්ද ද? කෙළින්ම බැරිනං පොඩ්ඩක් ඇදට හරි කතා කරන්න…’

‘හා මිස්… ’

‘ඔය ඉතිං… ’

ලොකු ඇස් අයිතිකාරි දවසින් දවසම තමන්ගෙ ජීවිතේ ඇතුළට රිංගන බවත්, හිතේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා හැම අඟලක් ගානෙම අයිති කරගන්න බවත් විසල්ට දැනුණා. කාව්‍යා ඉන්දීවරී කියන්නෙ ආලෝක වර්ෂ ගාණක් ඈතින් දිලිසෙන තරුවක් බව හොඳින්ම දැනගෙන හිටියත් ඒ ආදරණීය බලහත්කාරකමට විරුද්ධව කැරලි ගහන්න විසල්ට ඕන වුණේ නෑ.

‘ආ… විසල් මහත්තයා. කොහොමද ඉතිං… මොකද සද්දයක්වත් නැත්තෙ? අපිව අමතකම වෙලාද?’

සුරේෂ්ගෙ උපහාසය පිරුණු කටහඬ ඇහෙද්දි ජංගමයා කුණු ඇලට විසි කරන්න තරම් කේන්තියක් දැනුණත් විසල් ඉවසීමෙන් අහගෙන හිටියා.

‘ඇයි මේ සද්ද නැත්තෙ… දැං සෑහෙන්න දියුණුයි කියල ආරංචියි. ලොක්කයි, දෝණියන්දැයි දෙන්නම අල්ලගෙනලු නේද ඉන්නෙ?’

‘උඹට ඉතිං මම කියන්න ඕන නෑ නෙ මචං… හැම තොරතුරක්ම එනවනෙ. නේද..? ’

‘ආ… උඹත් දන්නව ද ඒක? බොහොම හොඳයි මචං ඒ වගේ දේවල් දැනගෙන වැඩකරන එක. අපෙං හැංගිලා දෙයක් කරන්න හිතං ඉන්නවනං ඒක හීනයක් විතරයි විසලො…’

‘මං හොඳටම දන්නව මචං උඹයි ලොයිඩ් ලොක්කයි මං ගැන සෑහෙන්න උනන්දුයි කියල… ඒකනෙ මාව බලල යන්නත් දෙන්නෙක්ව එවල තිබුණෙ..? ’

‘මොකද්ද උඹ කියන්නෙ..? කවුද, කාවද එව්වෙ? ’

— මතු සම්බන්ධයි —

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සිහින සිත්තරාවි 65වන කොටස >> http://www.gossipking.lk/2017/01/10/33976/

සිහින සිත්තරාවි මුල සිට කියවන්න >> https://goo.gl/KNgJmJ

Like කරන්න ‘සිහින සිත්තරාවි’ Facebook පිටුවට >> https://www.facebook.com/sihinasiththarawidigitalnovel/

එක එක ගොසිප් කියවලා ඇති වෙලා නේ හැමෝම ඉන්නේ ඒ නිසා සඳුදා සිට සිකුරාදා දක්වා හැමදාමඋදේ 8.45ට අපේ සිහින සිත්තරාවි කියවන්න..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.